Saturday, November 3

-ආඩම්බර සඳවතී- [3]

 [1] කොටස                         [2] කොටස

හුටා.......... දැන් ඉතින් මොකේද කියහල්ලකෝ දන් වළඳන්නේ? සර්ගේ ගෝරනාඩුව ඇහෙනකොට නැගිටලත් බෑ, ඒ වුණාට ඉතින් ඉඳගෙන ඉන්නවා කියන්නේ ඊට හපන් භයානක වැඩක්. පන්තියේ එවුන්ගෙන් කිසිම හැල හොල්මනක් නැති වුණ වෙලාවේදී "කිත්තා" ස්ටේජ් එකෙන් බැහැලා ඩෙස් පේළි අතරින් ඇවිදින්න පටන් ගත්තා. කොල්ලෝ කිත්සිරි සර්ගේ නම කොට කරලා කිත්තා කියලා තමයි කතා කරේ. ආයේ ඉතින් නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකද්ද. මම දෙතුන් පාරක් හිතන්නේ නැතුව නැගිට්ටා. වීරයා වගේ නැගිට්ටේ වෙන මොනවත් නිසා නෙමෙයි මේ වගේ වෙලාවක අපායට යන්න වුණත් අපේ එවුන් මාත් එක්ක ඉන්නවා කියල දන්නා නිසා. තප්පර දෙක තුනකින් සමියයි, අවිෂ්කයි, කලණයි මගේ දෙපැත්තෙන් නැගිට්ටා. 

"අඃ........ මේ ඉන්නේ" ගාම්භීර කටහඬින් කියන ගමන් සර් අපි හිටිය පැත්තට හිමින් ඇවිදගෙන ආවා. මුළු ක්ලාස් එකේම තිබුණු ඇස් දාස් ගානක් හැරවිලා තිබුනේ අපි හතර දෙනා පැත්තට. නොදකින් මුන්ටත් ඉතින් කාටහරි කෙලවෙනවා නම් ඊට වැඩි දෙයක් නෑ. අපි ලඟට ඇවිත් නතර වුණු සර් මාරුවෙන් මාරුවට අපේ මුණූ දිහා බැලුවා.

"තමුන්ලා මෙතනට එන්නේ ඉගෙන ගන්න මිසක්, වෙන වෙන මගුල් නටන්න නෙමෙයි. තමුසෙලාගේ අම්මලාගේ, තාත්තලාගේ බලාපොරොත්තු, හීන.................................." අපි හතර දෙනා ඇතුළුව මුළු පන්තියටම සමස්ත දේශනාවක් දෙන්න පටන් ගත්තා. 

ඒ වුණාට පන්තියේ හිටිය එක කොල්ලෙක්වත් නෙමෙයි ඒ කතාව කණකට ගත්තේ. උන් කරේ සර් එහෙ මෙහේ වෙනකන් ඉදලා කෙල්ලෙක්ට කොල ගුලියකින් ගහපු එක. ඒකටත් එක්ක කෙල්ලෝ....... හතර පෝයට සිල් ගන්න අම්මණ්ඩිලා ටිකක් වගේ කටවල් ඇරගෙන අපි දිහා බලාගෙන හිටියේ හරියට නිකන් අපි ආනන්තරීය පාප කර්මයක් කරපු එවුන් වගේ. ඒ වුණත් කෙල්ලොන්ගේ පේළිය දිහා බලන බලන සැරේට මගේ හිතට පුංචි නොසන්සුන් හැගීමක් ආවේ ඇයි කියලා මට හිතාගන්නවත් බැරි වුණා. සමහර විට මීට කලින් මෙච්චර කෙල්ලෝ ගොඩක් මගේ දිහා එක සැරේ බලලා නැති නිසාද දන්නේ නෑ. 

"දිදුල, අර බලපන් අරකි" සර් දිගටම බණ කියවන අතරේ සමියා මට රහසින් වගේ කිව්වේ කෙල්ලොන්ගේ පේළියක් දිහා රවාගෙන ඉන්න ගමන්.

මමත් ඒ පැත්ත බැලුවා...... අර වීදුරු බෝල ඇස් දෙක. ඒ කියන්නේ මෙයා ක්ලාස් එකට ඇවිල්ලා. මගේ හිත කූල් වෙලා ගියා, හැබැයි ඒ තප්පර කීපෙකට විතරයි. දැනට පැයකට විතර කලින් කඳුළු පිරිලා තිබුණු, මගේ හිත සලිත කරපු අහිංසක නෝක්කාඩුව වෙනුවට ඒ ඇස් වල ලියවිලා තිබුණේ තරවටුවක්. ඒත් එක්කම කටත් උල් කරලා මට මොනවද කිව්වත් කිව්වේ මොනවද කියල මට හිතා ගන්න බැරි වුණා. මට මොනවදෝ කියලා එයා, එයාගේ යාලුවොත් එක්ක හිනාවෙනවා දැක්කම මොනවා කිව්වත්, කිව්වේ මට නෝන්ඩියට කියල නම් මට පැහැදිලිවම තේරුණා.




අන්න ඒ වෙලාවේ නම් මට උපරිමේටම තරහ ගියා. දිදුල කියන්නේ වලියෙන් නම් වලියෙන්, ධර්මෙන් නම් ධර්මෙන් රාජ්‍ය පාලනය කරගෙන ඉන්න අහිංසකයෙක්. ඕන්න ඕන්න......... ඉතින් මේ හතරට ගනින්න බෑ වගේ හිටිය දැරිවි දිදුලගේ සීලේ බින්දා. උඹට දෙන්නම් ජම්බෝ කියලා මං හිතාගත්තා. කිත්තා දේශනේ ඉවර වෙලා අයෙත් අපි දිහාවට හැරුණා.

"තමුන්.... ආරියතිලක සර්ගේ පුතා නේද?" කිත්තා මගෙන් ඇහුවේ මයික් එක අයින් කරලා. මේකා කොහොමද ඒක දැනගත්තේ. මං ඔව් කියන්න ඔලුව වැනුවා.

"එහෙනම් දැන් කියමුකෝ බලන්න ඇයි අර අහිංසක ගෑනු ළමයි ටිකට ක්ලාස් එකට එන්න නොදුන්නේ කියලා?" මුළු පන්තිය වටේටම හිනාවක් දාලා කිත්තා මට මයික් එක දික් කරා. පොර හදන්නේ මාව නෝන්ඩියට ගන්න. 

මම මයික් එක අතට ගත්තේ හිතේ ඇතිවුණු තිගැස්මෙන්මයි. නොහිතපු මොහොතක පිරිසක් ඉස්සරහ කතාවක් කරන්න ගත්තම හැමෝටම වෙනවා වගේ මටත් හීන් දාඩියයි, මහ දාඩියයි දෙකම දැම්මා. ඒ වුණාට කොල්ලා නෙමෙයි සැලුණේ. අත වෙවුලන එක පාලනේ කරගන්න ලොකු ට්‍රයි එකක් දෙන ගමන් මං කතා කරන්න පටන් ගත්තා.  

"හ්ම්... අපි.. අපි පඩිපෙළේ ඉඳගෙන හිටිය වෙලාවේ එතන ගෑණු ළමයි වගයක් නම් හිටියා තමයි සර්. ඒත්........" මං ඒ ටික කියලා කතාව නතර කරා. සමියා හොඳ සෝදිසියකින් මගේ මුණ දිහා බලනවා මට ඇස් කොනින් පෙනුණා.

"ඒත්??... ඒත් මොකද?" කිත්තා මහ සද්දෙන් ඇහුවා.

"ඒත්... ඒ ගෑණු ළමයි අහිංසකද නැද්ද කියලා නම් දන්නේ නෑ සර්" මං ඇත්තම කිව්වා. පන්තියේ කොල්ලෝ ටික එක පොදියට හිනා වෙන්න ගත්තම නම් කිත්තාගේ මුණ බයිසිකල් ටයර් එහෙකට අහුවුණු පුවක් ලෙල්ලක් වගේ වුණා. කෙල්ලොන්ගේ අතරිනුත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් අව්‍යාජ විදියට හිනා වුණත් අනිත් එවුන් ලතාවට "ආ...." කිව්වා.

"ආරියතිලක... වැරදි කරලා මෙතන කට කියවන්න එපා. ඇහුව දේට උත්තර දෙනවා. මොකටද ඒ ළමයින්ට පන්තියට එන්න නොදුන්නේ?" කිත්තාගේ කටහඬේ ඉස්සෙල්ල තිබුණු ගතිය ටිකක් විතර අඩු වෙලා තිබුණා.

"නෑ සර්... එයාලට පන්තියට එන්න දුන්නා. ඒත් එක කොන්දේසියක් පිට" අපිට ඉස්සරහ පේළියේ හිටිය කොල්ලෝ සෙට් එකේම ඇස් ගෙඩි තඩි වුණා ඒ කතාවට.

"මොකද්ද ඒ?" කිත්තා නළලත් රැලි කරලා අහනකොටම සමියා මගේ අතින් මයික් එක උදුරලා වගේ අරගත්තා.

"අපි එයාලට යන්න දුන්නා. හැබැයි එයාලගේ නමයි, ඉස්කෝලෙයි අපිට කිව්වට පස්සේ. ඒක තමයි සර් අපි දැම්ම කොන්දේසිය" සමියා කට කොනක හිනාවකුත් තියාගෙනම කියලා දැම්මා.

"තමුසෙලාට මොකටද අයිසේ එයාලගේ නම්?"

"ඇත්තටම අපිට ඒ හැමෝගෙම නම් දැනගන්න ඕනේ කමක් තිබුණේ නෑ සර්. එක්කෙනෙක්ගේ නම තමයි දැනගන්න ඕනේ කම තිබුණේ" සමියා මේ ටික කියනකොට මං බැලුවේ අර වීදුරු බෝල ඇස් තිබුණු ආඩම්බරකාරී දිහා. එයා මාරම උනන්දුවකින් සමියගේ කතාව අහගෙන ඉන්නවා කියලා මට තේරුණා.

"එක්කෙනෙක්ගේ? ඒ කවුද?" කිත්තා සර් ගේ කටහඬේ තිබුණේ කුතුහලයක්. බලාගෙන ගියාම මෙයාටත් ඕනේ නැති ඉටි ගෙඩියක් නෑනේ.

"ඒකනේ සර් ප්‍රශ්නේ" මං ආයෙත් සමියගේ අතින් මයික් එක ඉල්ලා ගත්තා.. "දැනගන්න ඕනෙම කෙනාගේ නම දැනගන්න බැරි වුණා. දැන් අපි සර්ට එයාව පෙන්නුවොත් සර්ට පුලුවන්ද එයාගේ නම අහලා කියන්න?" මං අර ආඩම්බරකාරිගේ දිහාම බලාගෙන ඇහුවා. කෙල්ල කරේ පුළුවන් තරම් ඉක්මනට පන්තියේ ඉස්සරහ පැත්තට හැරුණු එක. ඇද්ද පන්ඩිතීට? මං කිව්ව කතාවට තප්පර ගානක් ඇස් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටිය සර් ඊළඟට මගේ අතින් මයික් එක ගත්තා. "ක්ලාස් ඇරිලා මාව හම්බ වෙලා යනවා" එහෙම කියලා සර් හැරිලා ස්ටේජ් එකට ගිහින් ආයෙත් පාඩම පටන් ගත්තා.

________________________________________________

අපි ක්ලාස් ඇරිලා කිව්ව විදියටම කිත්තාව හම්බවෙන්න ස්ටාෆ් රූම් එකට ගියා. 

"මොනවද අයිසේ තමුසෙලත් කරන වැඩ? කෙල්ලෙක්ගෙ නම දැන ගන්න වෙන ක්‍රමයක් තිබුනෙම නැද්ද?" අපි බර සාර දේශනාවක් බලාපොරොත්තුවෙන් හිටියට සර් කතා කරේ සැහැල්ලුවෙන්.

"බලනවකො ඕක අර ළමයා ඇවිත් මට කිව්ව නිසාම හොඳයි. නැත්තන් මේ ඉන්ස්ටිටියුට් මැනේජ්මන්ට් එකට කිව්ව නම් එහෙම අද තමුන්ලා එළියේ නේ"

"අර ළමයා කිව්වේ සර්?" අවිශ්කයා ඉඳල ඉඳල අද දවසේ හොඳම ප්‍රශ්නේ ඇහුවා. 

"ඔය තමුසෙලාට නම නොකියා හැරිලා ගිය ගෑනු ළමයා. ඒ ළමයා පන්තියට ආවේ ඉන්ටවල් එකේ" සර් කිව්වේ අපි නොදැන හිටිය දෙයක්. අපි හතර දෙනා මූණෙන් මුණ බලාගත්තා.

"මේ, තමුසෙලා ඒ ළමයට කරදර කරනවා එහෙම නෙමෙයි. මට තමුසෙලාගේ ඔය කුපාඩි හිනාව ඇල්ලුවේ නෑ" සර් එහෙම කියනකොට අපි හතර දෙනාට හිනා ගියා.

"පිස්සුද සර්. අපි හෙන අහිංසක කොල්ලෝ" කලණයා සර්ට කියන ගමන් අපි ස්ටාෆ් රූම් එකෙන් එලියට ආවා. අපි එදා ගෙවල් වලට ගියේ කොහොමහරි අර ආඩම්බරීගේ ගෙම්පර් බස්සන්න ඕනේ කියලා හිතාගෙන. ඒකට අපිට ප්ලෑන් එකකුත් තිබුණා. ඔක්කොටම කලින් ඒ හොල්මනගේ නම දැනගන එපැයි.

__________________________________________________

ගෙදර ඇවිත් ඇඟ පත හෝදගෙන, රෑ කෑම කන්න කලින් බුකිය පැත්තේ ගිහින් එන්න හිතුවා. එහෙම හිතලා ලැප් එකත් ඔන් කරගෙන ඇඳෙන් වාඩි වෙනකොටම,

"ගෙදර කවුද?" බලෙන් කටහඬ ගොරහැඩි කරගන්න ගත්ත අසාර්ථක උත්සහයක් එක්ක ලාමක ටින් ටින් වොයිස් එකක් ඇහුණේ ගෙදර ඉස්සරහ දොර ලඟින් නෙමෙයි, මගේ කාමරේ දොර ලඟින්.

"ගෙදර කවුරුත් නෑ.... ගිහින් වෙන වෙලාවක එනවා" මං ඒ දිහා බලන්නේවත් නැතුව උත්තර දුන්නා.

"අනේ යනවා..හලෝ යන්න" එහෙම කියාගෙන මගේ කාමරේට කඩාගෙන පාත් වුණේ අරලියා. ඒ කිව්වේ මගේ එකම ඇවැස්ස නෑනන්ඩි. මොන්ටිසුරියේ මගේ පාට්නර්. පුංචි කාලේ ඉඳන් දුකට සැපට හිටිය හොඳම යාලුවා. මගේ අසල්වැසියා. අපේ එවුන් කියන හැටියට නම් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.......... 

අපේ එවුන් හැමදාම පුරුදුවෙලා හිටියේ අපි දෙන්නව පූට්ටු කරලා විහිලු කරන්න. අරලියා නම් කියන්නේ අපේ එවුන්ට එයා වගේ ලස්සන නෑණන්ඩි කෙනෙක් නැති නිසා ඒවා උන් තනිකරම ඉරිසියාවට කියන කතා කියලා. ඒ වෙලාවට එයා ලස්සන නෑ කියලා මං විහිලු කරාට අවංකවම කිව්වොත් අරලියා කියන්නේ පුංචි හුරුබුහුටි කෙල්ලෙක්. ගොඩක් කොල්ලෝ එක පාරක් දැක්කොත් දෙවෙනි පාරත් හැරිලා අරලියා දිහා බලනවා මං ඕනේ තරම් දැකලා තියෙනවා. මේකිත් එක්ක පාරේ ගියොත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල හිතලා කෙල්ලෝ මගේ දිහා බලන්නේ නැති අවාසිය ඇරුණම, අරලියා මගේ සහෝදරියක් වුණු එකට මං කවදත් හිතින් ආඩම්බර වුණා.

"මොනවද කරන්නේ?"

"තමුසෙට ඒකෙන් වැඩක් නෑනේ"

"පුහ්........ මෙයා බලහල්ලකෝ" මගේ දිහා රවලා බලලා අරලියා කිව්වා. එතකොටම මට මතක් වුණා සෙනුරිව. සෙනුරි කිව්වේ අර ආඩම්බරකාරිගේ යාලුවා. මොකද අරලියා ඉගෙන ගන්නෙත් කොන්වන්ට් එකේ.

"අඃ..... මේ අහනවකෝ අරලියා. ඔයාලගේ ඉස්කෝලේ බයෝ කරන සෙනුරි කියල කෙල්ලෙක් ඉන්නවද?"

"හ්ම්ම්...... සෙනුරී... ඔයාට මොකටද ඒක?" ඒ පාර මගේ ප්‍රශ්නේ පැත්තකින් තියලා අරලියා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

"පණ්ඩිතයා නොවී කියනවකො හලෝ"

"ඔව් ඉන්නවා" ඒක ඇහුවම නම් මගේ මූණේ ලොකු හිනාවක් පිරුණා.

"එයාගේ යාලුවෙක් ඉන්නවද...සුදුයි....ඒත් ගොඩක්මත් සුදු නෑ.උසයි.....කෙට්ටුයි.....ස්ට්‍රේට් හෙයාර්... කෙල්ල නම් ලස්සනයි. හැබැයි ඔයාලගේ ඉස්කොලේමද කියල නම් දන්නේ නෑ" මං මතක තිබුණු විදියට අර ආඩම්බරී ගැන ඇහුවා.

"හ්ම්ම්........ සෙනුරි ගේ යාලුවෙක්....." අරලියා ෂුවර් එකටම කොන්වන්ට් එකේ මුළු සයන්ස් පන්තියම මතක් කරනවා ඇති.

"ඇස් දෙක පට්ටම ලස්සනයි.. දුඹුරු පාට වීදුරු බෝල වගේ" දෙපාරක් නොහිතාම මම ඒ විශේෂණ පද ටිකත් එකතු කරා. ඒක ඇහුවම නම් අරලියාගේ ඇස් ලොකු වුණා. මූඩ් එකත් වෙනස් වුණා....

"අපෝ......... සඳමිණි... " 



හමුවෙමු නැවතත් ආඩම්බර සඳවතිය සමගින්!

ප/ලි: අයිස්ගේ කොලම ලියන්න අරගෙන අවුරුද්දකටත් වඩා කාලයක් ගත වුණාට, මේ තමයි කොලමේ ලියවෙන 50වෙනි පෝස්ටුව..  :) මෙච්චර කාලයක් මගේ අදහස් කියවන, ඒ ගැන අදහස් දක්වන, මට දිරි දෙන ඔයාලා හැමෝටම අයිස්ගේ ප්‍රණාමය! අයිස්ගේ කොලම කියවන ඔයාලා හැමෝටම ගොඩාක්.... ගොඩාක්.... ගොඩාක් ස්තුතියි!

Tuesday, October 30

-හිතුවක්කරයාගේ පාපොච්චාරණය-



හැමෝම එපා කියද්දිත්,
කොහේදෝ ඉඳන් ඇවිත් නහය උඩ වහපු
පාට පාට සමනලියක් දිහා බලන්න ගිහින්
සදහටම ඇස් වපර කරගත්තු
හිතුවක්කාරයෙක් මං....





ප/ලි : මගේ කවි වගේ බහුබූත කියෙව්වම හිතුනද මට පිස්සු කියලා? 
ඔව් ඔයා හරි. මට ටිකා...කා....ක් විතර පිස්සු තමයි.. :P

Sunday, October 28

-ආඩම්බර සඳවතී- [2]


මිස් පර්ෆෙක්ට්ගෙ වීදුරු බෝල වගේ ඇස් වලට ටිකා....ක් වශීවෙලා හිටිය මම ඉක්මනට අහක බලාගත්තේ සමියාගෙ කටහඬ ඇහුණු වෙලාවේ. 

"කවුද බං?"

"අර සුදු උස එක බං"

"ඉතින් ඒ කවුද කියපන්"

"දන්නෑ බං" අවිශ්ක උරහිස් දෙකත් ගස්සලා ගානක් නැතුව කියල දැම්මා.

"නොදකින් මේ වහුකුණා! තොට හෙනයක්ම ගහපිය. අම්මපා අර කෙල්ලෝ ටික මෙතන හිටියේ නැත්තන් උඹට දෙකක් ඇනලා, හංගනවා අර බෝක්කුව අස්සේ" සමියා අවිශ්කයට දෙහි කපන අතරේ තමයි අර කෙල්ලෝ ටික අපි හිටිය තැනින් යන්න ආවේ. ඒ වුණාට ඉතින් අපිට ටිකක් එහායින් උන් සෙට් එක නැවතුනා.. හේතුවද ඇහුවේ? අපි ඉඳගෙන හිටියේ ක්ලාස් එකට යන්න තියෙන ගල් පඩි පෙලේ තැනින් තැන. ඉතින් එතනින් යාගන්න බැරුව තමයි මුන් ටික නැවතුනේ. 

"නැගිටින්න එපා ඔහොමම ඉඳපල්ලා" අපිට එහෙම කියන ගමන් ඌ ඉඳගෙන හිටිය පඩියෙන් උඩ පඩියේ ඉඳගත්තා.

"මචං, අර රෝස පාට බ්ලවුස් එකක් ඇඳල ඉන්න එක කවුද බං?" මිස් පර්ෆෙක්ට් ගැන මං ඇහුවේ මට පල්ලෙහා පඩියකින් ඉඳගෙන හිටිය සමියාගෙන්.

"උඹට ඒක ලස්සනයිද?" ඇහිබැම දෙකත් උස්සගන්න ගමන් සමියා මගේ දිහාවට අමුතු බැල්මක් දැම්මා.

"එහෙම අටමගලකට නෙමෙයි ගොනෝ"

"එහෙනම් කොහොම අටමගලෙකටද? මොකා නමුත් ඒකි ජීවත් වෙන්නේ නම් පට්ටම පණ්ඩිත විදියට කියලා මට හිතෙනවා" සමියා මට කිව්වේ අවවාදයක් දෙන ගානට කටහඬ හදාගෙන.

"නම දන්නේ නැද්ද?" උගේ රෙද්දේ අවවාද වලින් මට වැඩක් නැති ගානට මං ඇහුවා.

"තාම දන්නේ නෑ. ඒත් පොඩ්ඩක් ඉඳපන්" එහෙම කියල මූ වීරයා වගේ නැගිටලා කෙල්ලෝ ටික ලඟට ගියේ මට හිතන්නවත් වෙලාවක් නොදී.

"ඒයි දිදුල,අරූ මොනවද අර කරන්නේ?"

"මට හිතෙන විදියට නම් දිදුලයා දැකපු හීනේ,හැබෑවක් වෙන්නයි යන්නේ" මොහොතකට මං කල්පනා කරා මොකද්ද ඒ හීන කතාව කියලා. එතකොටයි මතක් වුණේ මැඩම් හාතාවාරිය කඩාකප්පල් කරපු මගේ අහිංසක හීනේ..

"දැන් දැන ගන්න පුළුවන් ඒකිගේ නම" ටික වෙලාවක් කෙල්ලොත් එක්ක කතා කර කර හිටිය සමියා ඇවිත් මට ඇහැක් ගහලා ආයෙත් පඩි පෙලෙන් වාඩි වුණා.

අපි ඔක්කොම කටවල් ඇරගෙන කෙල්ලෝ ටික දිහා බලාගෙන හිටියා. දැන් උන් හොරෙන් හොරෙන් අපි දිහා බලලා මොනවදෝ කුටු කුටු ගානවා. අර වීදුරු බෝල ඇස් වල නම් තිබුණේ මහා නොරිස්සුම් පාටක්. මෙතන මොනවා වෙන්න යනවද කියල මට හිතාගන්නවත් බැරි වුණා.

"උඹ මොනවද උන්ට කිව්වේ?" බලාගෙන ඉඳලා බැරිම තැන මං සමියාගෙන් ඇහුවා.

"පොඩ්ඩක් ඉවසල බලාගෙන ඉන්දපන්කෝ" ඌ මගේ දිහා බලන්නේවත් නැතුව උත්තර දුන්නා.

"ක්ලාස් එකට තව විනාඩි දහයයි තියෙන්නේ" සමීර කෙල්ලෝ ටිකට කෑගහල කිව්වා. ඒක ඇහුව ගමන් උන් ටික පස්ස කඩා දාපු කඩි ටිකක් වගේ කුලප්පු වුනා. සමියා කිව්ව කතාවේ අගක් මුලක් තෝරාගන්න මට ඒ වෙනකොටත් පුළුවන් කමක් තිබුණේ නෑ.

විනාඩියක්වත් ගියේ නෑ. අර කෙල්ලෝ සෙට් එකෙන් කෙල්ලෝ දෙන්නෙක් අපි හිටිය පැත්තට ඇවිදගෙන ආවා. ආවෙත් නිකන් මරන්න ගෙනියන හරක් දෙන්නෙක් වගේ පණ ගැහි ගැහි. පඩිපෙළ මුලට ඇවිත් උන් දෙන්නා මූණෙන් මුණ බලාගෙන ඊළඟට සමියා දිහා බැලුවා. 

"ම... මම සඳුනි. ඉගෙන ගන්නේ [ඉස්කෝලෙක නමක්] එකේ" දුඹුරු පාට ගවුමක් ඇඳලා හිටිය කෙල්ල බිම බලාගෙන කියල දැම්මා. මමයි, අවිශ්කයයි, කලණයි මූණෙන් මුණ බලාගත්තා. 

"මං අනුෂ්කා... ඉස්කෝලේ [____________]" ඒ එක්කම වගේ අනිත් කෙල්ලත් කිව්වා.

"මෙයාල දෙන්නට යන්න දීපල්ලා" එහෙම කියන ගමන් සමියා නැගිටලා පැත්තකට වුණා. අපිත් ඌ කරපු විදියටම නැගිටලා අර ගෑණු ළමයි දෙන්නට යන්න ඉඩ දීල පැත්තකට වුණා. ඒ දෙන්නා ගියා විතරයි අපි ආයෙත් හිටිය විදියටම ඉඳගත්තා. අන්න ඒ වෙලාවේ තමයි මට සමියා කරපු වැඩේ මොකද්ද කියල මීටර් වුණේ. ඒ කියන්නේ දැන් මේ හැම කෙල්ලටම මෙතනින් ක්ලාස් එකට යන්න ඕනේ නම් නමයි,ඉස්කෝලෙයි කියන්න වෙනවා. ශික්............පව් අප්පා.. ඉගෙන ගන්න තියෙන ආසාවට කෙල්ලෝ කන කටු. මට මේ හොටු කෙල්ලෝ සංහතිය ගැන මහා දුකක් ඇති වුණා.

ඊළඟට දිනුෂිකා, ඊළඟට සමනලී, ඊළඟට දුලංජි, ඊටත් පස්සේ අමන්දි.... මේ හැමෝටම ක්ලාස් එකට යන්න ලැබුණා. ඔන්න අන්තිමට ඉතුරු වුණේ කෙල්ලෝ දෙන්නයි. අර වීදුරු බෝල ඇස් තිබුණු කෙල්ලයි,එයාගේ යාළුවයි විතරයි. එතන හිටිය හැමෝම තොරතුරු කියලා ගියාට පස්සේ ඒ මුණූ දෙකේ තිබුනේ අපහසුතාවයක පෙර ලකුණු ටිකක් විතරයි. සමියා මගේ දිහා බලලා වීරයා වගේ හිනා වුණා.

"ඇයි ක්ලාස් එකට යන්න ඕනේ නැද්ද,ආ?" කලණයා මහා සද්දෙන් කෙල්ලෝ දෙන්නගෙන් ඇහුවා. මං නම් බලාගෙන හිටියේ අර වීදුරු බෝල ඇස් දෙක සරින් සැරේට අමුතු වෙන හැටි. මං හිතන හැටියට කෙල්ලෝ දෙන්නා අතරේ පොඩි ආ(ර්)ගිව් එකක් පටන් ගත්තා.

"දිදුල, මුං දෙන්නා මෙතන කෙහෙවලු පටලගනී ද බං?" කලණ මගෙන් ඇහුවෙත් මට ඒ වෙලාවේ හිතුන දේමයි. අන්තිමට තරහ වැඩිකමට මූණත් රතු කරගත්තු වීදුරු ඇස් තිබුණු කෙල්ලගේ යාළුවා අපි ලඟට ආවා.

"මං සෙනුරි. කොන්වන්ට් එකේ ඉගෙන ගන්නේ" එයා යාළුවගේ තරහ පිටකර ගත්තේ අපිට දමලා ගැහුව වචන වලින්.

"ෂා..... ඔයාට තරහ ගියාම මාර ලස්සනයි නෙ" කෙල්ල ගිනි පුපුරු පිටවෙන ඇස් වලින් කලණ දිහා රවලා බැලුවා.

"මේ හලෝ.... වැඩිය කලර්ස් එපා හරී. ඇස් දෙක උගුල්ලනවා" කලණයත් යකෙක් ආරුඪ වුණා වගේ කෙල්ලගේ මූණටම කියලා දැම්මා.

"ඔන්න ඔහේ යන්න දීපන් බං" මං ශේප් එකේ කලණයව ඇදල ගන්න ගමන් කිව්වේ,කෙල්ල ගොඩක් අසරණ වුණා කියලා දැනුණු නිසයි. සෙනුරි එකම එක පාරක් එයාගේ යාළුවා දිහා හැරිලා බලලා ක්ලාස් එක ඇතුලට ගියා. මං කෙලින්ම බැලුවේ අර වීදුරු බෝල ඇස් දිහා. ඒ ඇස් වල තිබුණේ අන්තිම බලාපොරොත්තුවත් සුන් වෙච්ච මහා අසරණ පෙනුමක්. ඒක දැක්කම නම් මගේ හිතට මහා අමුතු හැගීමක් දැනුණා.




"ඇයි කුමාරිහාමිට, බුලත් දීලා පාවඩත් එළන්න ඕනෙද?" අවිශ්ක අහනකොට අපේ එවුන් හයියෙන් හිනා වුණා. අසරණකමත්, දුකත් පිරිලා තිබුණු ඒ ඇස් දෙක බිමට හැරුණේ බොහොම හිමීට. ඒත් තප්පර දෙක තුනකින් ආයෙමත් ඉස්සුණු ඒ ඇස් වල බැල්ම කෙලින්ම නැවතුණේ මගේ ඇස් මායිමෙන්. හැමදේකටම වැරදිකාරයා මං කියලා නෝක්කාඩුවක් ඒ කඳුළු පිරුණු ඇස් වල ලියවිලා තිබුණා. මගේ මුළු හිතම පිච්චිලා ගියා වගේ වේදනාවක්..........  කඳුළු කැට එළියට පනින්න ඔන්න මෙන්න තිබුණු ඒ වීදුරු බෝල ඇස් වල බැල්ම දරාගන්න බැරුව මගේ ඉලන්දාරි ඇස් අහක බලාගත්තා. විශ්වාස කරන්න............. ජීවිතේ පළවෙනි වතාවට දිදුල කෙල්ලෙකුගෙ ඇස් ඉස්සරහ අසරණ වුණා. 


"අම්මට සිරි ඒක කෝමද?" මහා පුදුමෙකින් සමියා කියනකොට මං ආයෙත් පාර දිහා බැලුවා.. මෙන්න කෙල්ල හැරිලා ආයෙමත් ටවුම පැත්තට යනවා.

"ඒයි පව් බං.. ගිහින් නවත්තමු"

"ඒකි ගියාම, උඹට මොකද්ද තියෙන අමාරුව?" සමියා අවිශ්කගෙන් ඇහුවා.

"එහෙම කියන්න එපා බං. ඒකිට අපි නිසා අද ක්ලාසුත් කට් වෙනවා"

"අනේ මේ,අනිත් එවුන් මෙතනින් පාඩුවේ ගියා නම් ඒකිට විතරක් මොකද බැරි? ඇයි ඒකි නෙළුමෙන් උපන් කුමරිහාමිද?" සමියා අවිශ්කගෙන් ගේම ඉල්ලනවා. 

"දිදුල, මං උඹට කිව්වනේ ඒකි පණ්ඩිතයි කියලා. කොහොමද ඝනකම?" සමියා ඊළඟට මගෙන් ඇහුවා. ඇත්ත, සමීර මේ වැඩේ කරේ මං ඒ කෙල්ලගේ නම ඇහුව නිසා. ඒ නිසා මේක මම ම ශේප් කරන්න වෙයි.

"හ්ම් හ්ම්...... ඒක නම් ඇත්ත. මේ ඒක ඉවරයි යමල්ලා ක්ලාස් එකට" මං කිසිම දෙයක් නොවුණු ගානට අපේ එවුන්ට කිව්වා. නැත්තන් මෙතන සමියයි, අවිශ්කයයි කියවගන්න ගියොත් ඒක ඉවර වෙන්නේ ගුටි කෙළියකින්.. මං ඒ දේ දකින්න කොහෙත්ම කැමැත්තක් තිබුණේ නෑ. මොකද කෙල්ලෙක් නිසා කොල්ලෝ දෙන්නෙක් ගහ මරා ගන්නව කියන එක කොලු සංහතියටම නින්දාවක් නිසා. 

__________________________________________________

බොහොම අමාරුවෙන් අවිශ්කයවයි, සමියාවයි ශේප් කරගෙන අපි ක්ලාස් එක ඇතුළට එනකොට විනාඩි විස්සක් විතර පරක්කු වෙලත් තිබුණා. කොහොමත් හැමදාම අපි එන්න පරක්කු වෙන නිසා,සර්ට නම් ඒකෙ වගේ වගක් තිබුණේ නෑ.. ක්ලාස් එකට ඇවිත් විනාඩි දහයක්, පහළවක් යනකන් මම හිටියේ නොසන්සුන් වෙලා තිබුණු හිත හදාගන්න බැරුව. ඒත් ටික වෙලාවකින් ආයෙමත් මගේ සුපුරුදු විදියට ඉන්න මට පුළුවන් වුණා.

"දිදුල, චිට් එකක් ලියපන්කො මචං" කලණ මට කිව්වා.

"කාටද?"

"අර සුදු පාට බ්ලවුස් එකක් ඇඳලා ඉන්න එකට, ඒකි හොරාට හොරාට ඇහැ දෙනවා" ඌ ඇස් වලින් මට පෙන්නුවේ අපිට එහා පැත්තේ හිටිය පේලියේ ඉඳගෙන හිටිය කෙල්ලෙක්ව.

"හ්ම්... ඉඳපන්කෝ." එහෙම කියලා මං ටික වෙලාවක් ඒ කෙල්ල දිහා බලාගෙන හිටියා. ලියන්න අදහසක් ගන්නත් එපැයි.

"මේ,අපි පොඩ්ඩක් ෆෝම් කරලා ගමුද? අයි මීන් ඇහැ දෙනවා නම්, උගුල්ලාම දාමුද?" මං කලණගෙන් ඇහුවා.

"මේ මොන කතාද සනා. ලියපන් ලියපන්" ඌ මගේ පිටට තට්ටුවකුත් දැම්මා. 

"ඇයි ඔහොම බලන්නේ?" පොතේ අන්තිම පිටුවෙන් කඩාගත්ත පුංචි කොල කෑල්ලක මං ඒ ටික විතරක් ලියලා චිට් එක කලණගේ අතට දුන්නා. අර කෙල්ල උගේ දිහා බලනකන් ඉඳල ඌ කරේ, කෙල්ලට චිට් එක පෙන්නුවා, ඊට පස්සේ ඒ කෙල්ල හිටිය පේළියේ අයිනේම හිටිය කෙල්ලගෙ අතට චිට් එක දීලා "අරයට දෙන්න" කිව්වා. 

"බලපන්කො ඒක කියවලා දැම්ම මල් හිනාව. අම්මට සිරි ඔන්න දිදුලයෝ රිප්ලයි එකක් ලියනවා" කලණයා මට රහසින් කිව්වා. තප්පර ගානකින් කෙල්ල එව්ව පිළිතුරු චිට් එක කලණයා දිග ඇරියා.

 "ඇයි හොඳ නැද්ද?" බෝල අකුරු වලින් ලියවෙලා තිබුණා.

"හොඳයි, ඒත්.... ඒත් එහෙම බලලා හිනා වෙන්න එපා" ඒ චිට් එකත් පාස් වුණා.

"අනේ........ ඇයි කියන්නකෝ" 

"නොදකින් මුන්ගේ නාකි හුරතල්" කලණයා එහෙම කියලා මගෙත් එක්ක බනින ගමන් ඒකිට හිනා වෙනවා.

"අනේ... මගේ පපුව පිච්චෙනවා රත්තරන්... ඔය හුරතල් හිනාවට" ඒක දැක්කම නම් කෙල්ලගෙ ඇස් දෙක ලොකු වෙලා,කම්මුල් රතු වුණා.

"අඩේ පව් කියලත් හිතෙනවා බං. ඒත් මොනවා කරන්නද කෙල්ලේ. අපේ දිදුලයා උපන්ගෙයි අවලමා" අපේ එවුන් රහසින් මුමුණනවා. අඃ අමතක කරන්න එපා අපි මේ ඉන්නේ ක්ලාස් එකක කියලා. සර්ද? සර් බෝර්ඩ් ඒකෙ මොනවද ලියනවා පේනවා. 

"අනේ යන්න අනේ බොරු නොකියා..... හහ්"

"එහෙම කියලා හරි යන්නේ නෑ. ඔය හිනාවට මගේ හිත අසරණ වෙලා ඉන්නේ. මට ඔයාව ඕනේ"  ඒ චිට් එකට නම් කෙල්ලගෙ ඇස් පුදුමෙන් ලොකු වුණා.

"මොකක්?" මේ වැඩේ අපිට හෙන ආතල් වුණාට අපි වටේ හිටිය එවුන්ට නම් අපිව මල ඇණයක් වෙලයි තිබුණේ ඒ වෙනකොට.

"මට ඔයාව ඕනේ.... අනේ ප්ලීස් ප්ලීස් ප්ලීස්...." ඒ පාර නම් කෙල්ල හොඳටම බය වෙලා අපි දිහා බැලුවා.

"අනේ මේ පිස්සු නම් නටන්න එපා. මං විහිළුවක් කරේ. මට boyfriend කෙනෙක් ඉන්නවා. Sorry..Sorry..Sorry" 

"යකෝ... කොල්ලෙකුත් තියාගෙන ද මේකි මේ ඇහැ දෙන්නේ" 

"පොඩ්ඩක් හිටු දැන් තමයි හොඳම හරිය" අවිශ්කට එහෙම කියලා මං ලියන්න පටන් ගත්තා.

"එයා හිටියට කමක් නෑ"

"ඔයා මොනවද මේ කියන්නේ? අනේ ප්ලීස් මං විහිළුවක් කරේ. සොරි.. මං ආයෙත් ඔයාට චිට් එවන් නෑ. සොරි" 

"අයියෝ ළමයෝ,බය වෙන්න එපා. මං ඔයාව කෙලින්ම ගෙනියන්නේ අපේ ගෙදරට. අපේ ගෙදර තිබුණු හිරමනේ මලකඩ කාලා. ඉතින් මං හිතුවා ඒ වෙනුවට ඔයාගේ දත් සෙට් එක රීප්ලේස් කරන්න. කොහෙද ඒකටත් ඔයාට පින නෑනේ. බුහ් හහ් හා..........  :P " කෙල්ල ඒ චිට් එක දිග ඇරලා. අපි ටික දිහා බැලුවේ මරාගෙන කන්න ඕනේ කොහොමද කියලා හිතාගන්න බැරුව වගේ. ඒ දැකපු අපි එක එකාට පහේ ඒවා දාගන්න ගමන් ඩෙස්ක් ඒකෙ ඔලුව ඔබා ගත්තේ හිනාව පිට පනියි කියලා බයට. ඒකි නම් ආයේ ජීවිතේට කොල්ලොන්ට චිට් ලියන එකක් නෑ.

ඒත් එක්කම වගේ ඉන්ටවල් ලැබුණු නිසා අපි හතර දෙනා පන්තියෙන් එළියට පැනලා ඇති තරම් හිනා වුණා. ඒත් ඉන්ටවල් එකෙන් පස්සේ, පන්තියට ආව සර් කිව්ව කතාවට අපේ හිනාව එහෙම්මම දිරෙව්වා.

"ළමායි........  අද.... මේ පන්තියට එන්න ආපු ගෑනු ළමයි ටිකකට... පන්තියට එන්න නොදී කොල්ලෝ හතර දෙනෙක් පාර අවහිර කරගෙන ඉඳල තියෙනවා. මං දන්නවා උන් හතර දෙනා දැන් මේ පන්තිය ඇතුලේ ඉන්නවා. හ්ම්.... දැන් ඉතින් නැගිටපියව් ඒ නැහැදිච්ච, පාහරයෝ ටික.. %#@#%%^& &^!@#  *&%$@#%^ ((*&$" ඕනේ යකෙකුට ඇහුවම බඩ යන ජාතියේ හොඳම සුද්ද සිංහල වචන ටිකක් සර් කිව්වා. මං අනිත් උන් තුන් දෙනා දිහා බැලුවා. උන් හිටියෙත් මං වගේම හොඳටම බයවෙලා කියලා මට උන්ගේ මුණූ දැක්කම තේරුණා.


හමුවෙමු නැවතත් ආඩම්බර සඳවතිය සමගින්!

Wednesday, October 24

-පාන් කෑවොත් ඔහොමමයි-


මචං මං UK යනවා. Job එකකට..යාලුවොන්ට කිව්වා.
"නෑ...... නියමයි නෙ. උඹ නම් මාර Lucky"
එහෙම කිව්වට උන් මට ඉරිසියා කරා...

අපේ පුතා එංගලන්තේ යනවා. රස්සාවකට. අපේ අම්මා ගමේ උන්ට කිව්වා..
"කොල්ලට තෙරුවන් සරණයි!"
එහෙම කිව්වට උනුත් මට ඉරිසියා කරා...

Honey මම England යනවා. Job එකකට. Girl Friendට කිව්වා..
"ඔයා ආයෙත් එනවා නේද?"
එහෙම ඇහුවට එයා හිතුවා මං සුද්දියක් බැඳගනී කියලා...

අන්තිමේදී කවුරු කොහොම හිතුවත් මං එංගලන්තෙට ආවා.
වැඩිකල් ඉන්න වුණෙත් නෑ. මට දැන් ආයෙමත් ලංකාවට යන්න වෙනවා..
නිකන් නෙමෙයි පිටුවහලෙක් විදියට..
මොකද මං මෙහෙට ආවේ හොර පාරෙන් හින්දා..

දැන් මං ගිහින් යාලුවන්ට මුණ දෙන්නේ කොහොමද?
ගමේ උන් මට මොනවා නොකියයිද?
Girl Friend තරහ වෙයිද?
අනේ මන්ද......

"පාන් කෑවොත් ඔහොමමයි"



Monday, October 22

ආඩම්බර සඳවතී [1]

"කලණ, කෝල් එකක් දාල බලපන් අවිශ්කයා දැන් කොහෙද කියල" කාර් පාර්ක් එකේ සිමෙන්ති බිත්තියට හේත්තු වෙන ගමන් මං කලණට කිව්වා. නුවර අහස වැහිබරයි. මොනවා නැතත් අද නම් හොඳටම නාන්න වෙනවා කියලා මට ඉර හඳ වගේ ෂුවර්.

"දිදුල, බලපන් බං අහස කළු කරලා තියෙන කැත විතරක්. වැස්සකට කලින් අපේ මේ වහුකුණා ආවොත් ලොකු දෙයක්" සමීර කිව්ව කතාවට ඇහුම්කන් දුන්නා වුණත් මගේ ඇස් තිබුණේ ෆෝන් එක කනේ ඔබාගෙන හිටිය කලණ දිහාවේ. 

"මචං දිදුල අර බලපන්" ඇස් දෙකත් කුරුම්බැට්ටි සයිස් කරගෙන සමීරයා මගේ ඇති ඇද්දා. උගේ කතාවේ තිබුණු පුදුමේ නිසාම කලණත් දඩි බිඩියේ kcc එන්ට්‍රන්ස් එක පැත්ත බලනවා මං දැක්කා.

එක පාරටම බැලුවම වෙනස මොකද්ද කියලා හිතාගන්න බැරි වුණාට තප්පර ගානකින් සමීරයා පෙන්නුවේ කෙල්ලෙක්ව කියලා මට මීටර් වුණා. කෙල්ල නම් ලස්සනයි. ඒත් අවුලකට තිබුණේ ඇඳගෙන හිටිය ඇඳුම තමයි.. ලා නිල් පාට ඩෙනිම් කලිසමට, සූටිම සූටි බැනියම් කෑල්ලක් ඇඳගෙන. බන්ඩිය එළියේ. ඒකිව දැක්කම මටයි ලජ්ජා හිතුණේ. ඒ කියලා මං අහක බලාගත්ත කියලා හිතුවද? එහෙනම් ඉතින් පිස්සුවක් ඇතේ. පාර පැනලා කෙල්ල යන්න ආවේ අපි හිටිය පැත්තෙන්.

"සමියා..........."

"කලණයෝ.........." උන් දෙන්නා ඇදල පැදලා කියන ගමන් ඇස් වලින් ඉඟි කරගන්නවා දැක්කම මගේ ඇඟ පත හීතල වෙලා ගියා. මුන් දෙන්නා මෙතන මොන ජවුසම නටන්න පටන් ගනීද කියලා කවුද දන්නේ.

"තොපි මොකද කරන්න හදන්නේ?" මං කලණගෙන් ඇහුවා.

"දිදුල.. රිලැක්ස් මචං" ඒ මට උගෙන් ලැබුණු උත්තරේ.. අවිශ්කයාවත් හිටිය නම් කියලා මට හිතුණා. අර කෙල්ල අපි හිටිය තැනට අඩි දෙක,තුනකින් ලං වෙනකොටම සමීරයා පාර හරස් කරලා හිට ගත්තා. පුදුම වෙච්ච මුණකින් සමියා දිහා බලපු කෙල්ල ඌව මග ඇරලා යන්න හදනකොටම කලණත් පාර හරස් කරලා හිටගත්තා. ඒ පාර නම් කෙල්ල හොඳටම අවුල් වුණා. මං අපේ එවුන්ට එපා කියන්න කට අරිනකොටම.....

"බුරියලතා..... බුරියලතා.......... මගේ සිතගත් සුදු කෙල්ලේ......... මගේ පෙම් ලොව එලිය කලේ ........ ඔබේ පෙම් සිනාවයි.... ඔබේ සිනාවයි" 

ශික්... වස නෝන්ඩියයි.. මුන් දෙන්නා ගිය තැන විනාසයි. මෙයත් ආවනේ මෙතනටම නෝන්ඩි වෙලා යන්න. මුල් වචනේ ඇහෙනකොටම කෙල්ල කරේ අතින් බඩ වහගත්ත එක. ඊළඟට ඒ මූණේ ක්ෂණික හැගීම් විපර්යාසයක් වෙලා සුදු මුණ ලේ පුරන හැටි මං හොඳටම දැක්කා. ඒ එක්කම තමයි මගේ නම කියල කවුදෝ කතා කරනවා ඇහුනේ..

 "දිදුල.... දිදුල....." අවිශ්කගේ කටහඬ ඇහෙනකොට මං වට පිට බැලුවත්, ඌ පෙන්න හිටියේ නෑ.

ඉවසීමේ රතු කට්ටත් පැනල හිටිය කෙල්ල සමියාගේ කම්මුලට ගහන්න අතක් උස්සනකොටම........ භුමිකම්පාවක් ඇති වෙනවා වගේ මට දැනුණා. හෑ........... නෑ නෑ භුමිකම්පාවක් නෙමෙයි කවුදෝ මාව අල්ලලා හොලවගෙන හොලවගෙන ගියා.

"දිදුල...... නැගිටපන් @!%%&**(&" ලෝකේ තියෙන හොඳම, සුන්දරතම වචන ටිකක් කියල අවිශ්කයා මාව ඇමතුවා. මං බොහොම අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන ඔලුව උස්සන්න හැදුවත් ඌ මගේ ඔලුව උස්සන්න බැරි වෙන්න තද කරගෙන හිටියේ. 

"එක පාරට බූරුවෙක් වගේ ඔලුව උස්සන්නේ නැතුව,ශේප් එකේ නැගිටපන්. 'මැඩම් හාතාවාරිය' ඇවිත් ඉන්නේ" අවිශ්ක පන්තියේ ඉස්සරහ බලාගෙනම මට උපදෙස් දෙන ගමන් මගේ ඔලුවෙන් අත ගත්තා. මැඩම් හාතාවාරිය කිව්වේ අපිට ෆිසික්ස් උගන්නපු ගුරුවරිය. ඇත්ත නම ඉන්ද්‍රානි රාජගුරු වුණාට ඉස්කෝලේ ඕනේ එකෙක් දන්නේ හාතාවාරිය කිව්වම තමයි. ඒ නමට හේතුව නම් අහන්න එපා, මොකද දන්නේ නැති නිසා. මං හිතන්නේ ඒ නමත් අපිට බැචස් හතර පහකට කලින් හිටිය ආදී ශිෂ්‍යයන්ගේ පරිත්‍යාගයක් වෙන්න ඇති.




"ශිහ්.......... මැඩම් හාතාවාරියට මහාමාරියම හැදෙන්න එපැයි මගේ නින්ද කැඩුවට. සමියා අර කෙල්ලගෙන් කණ රත්වෙන්න කනවා බලාගන්න මට බැරිවුණානේ"එහෙම හිතනකොටම මට එහා පැත්තෙන් වාඩිවෙලා මගේ දිහාවට මහම මහා නෝන්ජල් හිනාවක් දාගෙන ඉන්න සමියව මට පෙනුණා. මොන මේ ඉන්නේ මේකා මෙතන දිලිසි දිලිසි. හැබැයි පුතෝ තොගේ ඔය වනචර හිනාවට නම් දවසක කෙල්ලෙක්ගෙන් කනේ පාරක් අනිවා හම්බවෙයි.

"ආරියතිලක....." ඔලුව ඉස්සුවා විතරයි, ටකරමකට මැටල් වැටෙනවා සුමිහිරි ගීතවත් ගායනයක් මට ඇහුණා. 
ලාවට වගේ ඇස් පොඩි කරගෙන මං පුටුවෙන් නැගිට්ටා. 

"ගුඩ් මෝර්නින් මැඩම්"

"ගුඩ් මෝර්නින්???. තමුන් දන්නවද දැන් වෙලාව කීයද කියලා?" 

"නෑ මැඩම්, කීයද ?" පන්තියේ කොල්ලොන්ගේ ලාවට 'ස්' පාරක් යනකොට මැඩම් හාතාවාරියගේ මුණ රතුවුණා. ඉතින් යකෝ මං වැරදි ප්‍රශ්නයක් ඇහුවයැ. මොකද ඉතින් මැඩම්ගේ ඉස්සරහපිට කලිසම් සාක්කුවෙන් මොබයිල් එක ඇදල වෙලාව බලත හැකියැ. 

"දැන් වෙලාව දොළහයි හතලිස් පහයි" රතු වුණු මූණෙන්ම හාතාවාරිය කිව්වා.

"අප්පට සිරි.. ඒ කියන්නේ මං පීරියඩ් දෙකක්ම නිදාගෙන නෙ" සමියා මගේ අත කෙනිත්තුවා.

"වට්?"

"නෑ මැඩම්, තව විනාඩි හතලිස් පහක් තියෙනවා කිව්වා" මං ටාර් ගාල කතාව වෙනස් කරා.

"මොනවටද?"

"ඉස්කෝලේ ඇරෙන්න" ආයෙමත් පාරක් අපේ එවුන් "ස්" පාරක් දුන්නා. 

ඒ පාර මැඩම් හාතාවාරිය කතා කරන්න ගත්තේ කලකිරුණු මූණක් හදාගෙන. පරණ ටේප් එකම බව දන්නා නිසා,මං මැඩම්ගෙන් අහන්නෙත් නැතුව ඉඳගත්තා..මොකද ඔය රීමික්ස් එක දිගටම ඇහුවම ඕනේ මල යකෙකුට කලන්තේ දාල වැටෙන නිසා..

"දිදුල. ඔයා ඉස්සර කොයි තරම් හොඳ ළමයෙක්ද. දැන් ඔයාට මොකද වෙලා තියෙන්නේ දරුවෝ. ඔයාගේ තාත්තා ඔයා ගැන දැනගත්තොත් එයාට මොනවා හිතෙයිද?" එතන ඉඳන් විනාඩි දහයක් විතර ඉතින් බ්ලා බ්ලා බ්ලා තමයි. ඔයා ටේප් එක අහලා අහලම අපේ පන්තියේ එවුන්ට දැන් ඒක කට පාඩම්.. 

"මචං..මැඩම් හාතාවරියට මොකද්ද දන්නෑ නේද උඹලගේ අප්පච්චි ගැන ඔච්චරටම තියෙන කැක්කුම?"  හාතාවාරිය පන්තියෙන් ගියාම අපේ එවුන් මගෙන් අහන්න පටන් ගත්තා.

"කවුද බං දන්නේ" මං උත්තර දුන්නේ ඕනෙවට එපාවට.

"මට නම් හිතෙන්නෙම දිදුල, මැඩම් හාතාවාරිය ගුරු විද්‍යාල ඉන්න කාලේ උඹලගේ අප්පච්චිගේ ලව් එකක් වෙන්න ඇති කියලා" අවිශ්ක එහෙම කිව්වේ මගේ අප්පච්චිත් ගුරුවරයෙක් නිසා. නිකන්ම නෙමෙයි. නුවර තවත් ජනප්‍රිය පිරිමි පාසලක මුල් ගුරුවරයා. හරි ඉතින් ඒ කිව්වේ ප්‍රින්සිපල් කියලා තමයි.

"හ්ම්ම්........... එහෙම වෙන්නත් බැරි කමක් නෑ" මං ඒ ටික හිතෙන හිතුවා.

______________________________________________


ඉස්කෝලේ ඇරෙන්න විනාඩි පහළොවකට විතර කලින් අපි පාරට ආවේ හැමදාම ඉස්කෝලෙන් පනින පාවිච්චි කරපු සංගීත කාමරේ ළඟ තාප්පෙන් පැනලා. ක්ලාස් එක ඉස්සරහ තිබුණු ගල් පඩිපෙලේ තැනින් තැන වාඩි වෙලා ඉන්න ගමන් මං දැකපු හීනේ ගැන යාලුවොත් එක්ක කිව්වා.

"ඔව් ඉතින් මං කෙල්ලෙක්ගෙන් ගුටි කන්න හැදුවොත් ඒක දවල් හීනයක්ම විතරයි කියල මතක තියාගනිල්ලා" ෂර්ට් කොලර් එක උස්සන ගමන් සමියා පොර ටෝකක් දුන්නා.

"මචං අපි හීනෙන් දකින්නෙත් හැබැහින් දකින්න ආස දේවල් නේ?"

"උඹ කියන්නේ සමියා කනේ පාරක් කනවා දකින්න දිදුලයා ආසයි කියලද?" කලණ අවිෂ්කගෙන් ඇහුවා.

"පිස්සුද? මූට මේ බුරියලතා කෙනෙක්ව දකින්නයි ආසාව තියෙන්නේ" ඒක ඇහුව ගමන් අපේ එවුන් ටික මහ හයියෙන් හිනා වුණා. 


"ආ..................... අරයා කොහෙද මෙහේ?" හිටි ගමන්ම අවිශ්කයා ඇහුවේ ක්ලාස් එක පැත්තට ඇවිදගෙන එන කෙල්ලෝ ටිකක් පෙන්නලා. කිව්වේ කොයි එක්කෙනාටද කියල නම් මං දන්නේ නෑ. කාට කිව්වම මට මොකෝ මං ඉතින් ඒ හැම කෙල්ල දිහාම විශ්ලේශනාත්මක බැල්මක් දැම්මා. හ්ම්...... නොට් බෑඩ්.... ගුඩ්.... වෙරි ගුඩ්... ගුඩ්.. නොට් බෑඩ්.... වෙරි ගුඩ්... ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් නිසාම,මගේ අදහස් වලට සාපේක්ෂව මං ඒ හැම කෙල්ලගේම ලස්සන බැලුවා. චික්... වල් හිතකින් නෙමෙයි ඕයි.. සහෝදරකමට...

ඒත් අන්තිමට මං දැක්ක කෙල්ලව........... දුඹුරු පාට වීදුරු බෝල දෙකක් වගේ ඇස් දෙක......... මගේ හිත ඇතුලෙන් විදුලියක් කෙටුවා වගේ හැගීමක් දැනෙද්දී එයාව මනින්නේ කොහොමද කියල මං කල්පනා කරන්න ගත්තා... වෙරි ගුඩ්.... හ්ම්ම්ම්.. නෑ ඒක හරි යන්නේ නෑ... පර්ෆෙක්ට්.. ඔව් පර්ෆෙක්ට්.... එයාට හරියටම හරියන්නේ පර්ෆෙක්ට්....



ආඩම්බර සඳවතිය සමගින් නැවත හමුවෙමු!

Saturday, October 20

-ආඩම්බර සඳවතී- (හැඳිනුම)


ආඩම්බර සඳවතියකට පෙම් බැඳි විසේකාරයෙකුගේ කතාවක්.....




-ආඩම්බර සඳවතී- 


ICEගේ කොලමේ අකුරු කෙරෙන ආදරණීය සයිබර් නවකතාව... 

ළඟදීම>>>

එක්වන්න...


තටු සලන මතකයන්, හිත් මානයෙන් ඉගිලී යන්නට පෙර සයිබරයේ අකුරු කෙරෙන 
ICEගේ කොලම සමගින්...







ජයෙන් ජයම වේවා!


Wednesday, October 10

T A R G E T

          "ඔයාල ගිහින් එන්න. මං මෙතන ඉන්නම්" මා එසේ පැවසුවේ ත්‍රී රෝද රථය තුල වාඩිගෙනමය. මා පැවසු දෙයට පිළිතුරක් නොදීම අක්කා සහ මස්සිනා සිඟිති පුතුවත් රැගෙන කඩිනමින් ළමා රෝහල වෙත පිය නැගීය. ටික වේලාවක් ඔවුන් ගිය මග දෙස බලාගෙන සිටි මා හට ත්‍රී රෝද රථයෙන් බිමට බැසීමට අවශ්‍යතාවය ඇතිවුණේ දැඩි අව් රශ්මිය දැනෙන්නට පටන්ගත් නිසාවෙනි. රියෙන් බිමට බැස අසල තිබු දැවැන්ත අඹ ගසේ සෙවනට වී සිටි මා හට මහත් අස්වැසිල්ලක් දැනිණි. රෝහල් වලටම පොදු 'බෙහෙත් ගඳ' ද විටින් විට මද නළ සමග මුසුව මා පසුකර ගියේය.


       මද වෙලාවක් රෝහල් භුමිය තුල එහා මෙහා යන රථවාහන දෙසත්, රෝගීන් දෙසත් බලමින් සිටියදී තරමක් හුරු පුරුදු මුහුණක් මා නෙත ගැටිණි. මුහුණ හුරු පුරුදු වූවත් බොහෝ සෙයින් පැසි තිබුණු හිසකෙස් දුටුවනම මේ ඇයම දැයි කුහුලක් මසිතට ක්ෂණයකින් ඇතුල්විණි. ඒ සමගම ඇය මා දැක පුදුමයෙන් සහ කුහුලෙන් යුතු සිනහවකින් මුව සැරසීය.

"පොඩි නංගි ඇයි මෙහේ?" ප්‍රථම පැනය ඇසුවේද ඇයයි.

"මේ, පුතා වැටිලා අක්කා. තොල ටිකක් තුවලවෙලා. එයාව අරගෙන ආවා"

"අනේ කොල්ලට ගොඩක් තුවාලද?"

"අව්ව වෙලාව නිසා වෙන්න ඇති ගොඩක් ලේ එනවා"

"ඒක නම් ඇත්ත තමයි මේ පෑවිල්ලේ  හැටියට. නංගි නිවාඩු ආව ගමන්ද?" ඒසේ නම් ඇය මගේ රැකියාව පිළිබඳවත් දනී.

"ඔව් අක්කා,ඊයේ ආවේ"

"නංගිලා දැන්ම යන්නේ නෑනේ. මං මේ කුණු එක දාල එන්නම්" ඒසේ පවසමින් ඇයත්, ඇයගේ මිතුරියන් දෙදෙනාත් කුණු මලුත් රැගෙන රෝහල පිටු පසට යන අයුරු මා බලා සිටියෙමි.

       ඇය නමින් 'සුජාතා' ය. මාගේ පියපසින් පැමිණෙන නෑකමකට අනුව ඇය මගේ සොයුරියකි. රජයේ රෝහල් විසින් පෞද්ගලික අංශයක් වෙත ලබා දී ඇති රෝහල පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ඇයගේ රැකියාවයි. මා එය දැනගත්තේද එම මොහොතේදීය. 

"පව් සුජාතා. අර දරුවන්ට උගන්නන්න දහදුකක් නේ විඳින්නේ" මගේ අම්මා ඇය පිළිබඳව මෙලෙස පවසනු කිහිපවරක්ම මගේ දෙසවන් වැකි ඇත.

           නෑදැයින් ලෙස අප අතර ළඟ බැඳීමක් නොමැති වුවද මා ඇය ගැන විස්තර සෑහෙන ප්‍රමාණයක් දැන සිටියෙමි. එයට හේතුව අප පවුල තුල ඇය දිරිය කතක් වූ නිසාවෙනි. සුජාතා අක්කා වයස තිස් ගණන් වල පසුවන විවාහක තැනැත්තියකි. ඇයට දියණියන් තිදෙනෙකු සහ සිව්වැනියා ලෙස පුතෙකුද සිටියි. නීතියෙන් වෙන් වී නොමැති වුවද සුජාතා අක්කාගේ සැමියා ඇය හැර ගොසිනි. තම මව සහ එකම සොයුරා සමග වෙසෙන සුජාතා අක්කාට ඇති එකම බලාපොරොත්තුව වුයේ දරුවන් සිවු දෙනාගේ අධ්‍යාපනය ඉහල මට්ටමින් ලබා දීමයි. කෙතරම් අගහිඟයෙන් පිරුණද ඇයගේ සිවු දරුවන් අධ්‍යාපනය ලබන්නේ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලකය. සුජාතා අක්කාද තරමක ඉහල අධ්‍යාපනයක් ලබා තිබු එකියක නිසාම දිවියේ එකම සම්පත ලෙස සැලකුයේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයයි. කන්නට අඳින්නට පවා නොමැති අඩියක සිටියදී තම දරුවන් කෙසේ හෝ ජාත්‍යන්තර පාසලකට යවන මේ දිරිය ගැහැණියට ඊර්ෂ්‍යා කල උන්ද අප ගමේ බොහෝ වෙසෙයි.

      චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරවන සුජාතා අක්කාගේ දරුවන් සිවු දෙනා ද ඉගෙනීමට දස්කම් දක්වන දරුවන් වෙයි. වයස අවුරුදු 15 සහ 16 හි පසුවන වැඩිමහල් දියණියන් දෙදෙනාද සිත්ගන්නාසුළු සුන්දරත්වයෙන් හෙබි තරුණියන් බවට පත්වෙමින් සිටියි. "දරුවෝ ඉන්ටනැෂනල් යවන්න ඉස්පිරිතාලේ කුණු අදින ආදරණීය අම්මා" මා සිතින් එලෙස මිමිණුවේ ඇය පිළිබඳව උපන් ගෞරවය මුසු ආදරයකිනි.

     අප රෝහලෙන් පිට වීමට පෙර සුජාතා අක්කා නැවත නෙත නොගැටුණු නිසා ඇයගෙන් සමුගැනීමටවත් හැකියාවක් ලැබුණේ නැත. ඉන් තෙදිනකට පසු රැකියාව සඳහා පිටත්ව ගිය මා නැවත නිවසට පැමිණියේ මාස එකහමාරකට පමණ පසුවය.

"ආ පුතේ......." මා සමග ආගිය තොරතුරු පවසන අතරතුර අම්මා හදිසියෙන් මෙන් එලෙස පැවසුවාය.

"අර සුජාතා අක්කලාගේ ලොකු දුවල දෙන්නව ඉස්කෝලෙන් අස් කරලලු"

"ඇයි ඒ?" මම වහා විමසීමි.

      "ඒ ළමයි දෙන්නා ත්‍රී විල්කාරයෝ දෙන්නෙකුත් එක්ක සම්බන්දයක් තිබිල තියෙනවලු. ගිය සතියේ දෙන්නම ඒ කොල්ලෝ දෙන්නත් එක්ක පැනලා යන්න හිතාගෙන ඉස්කෝලෙට ඇඳුම් අරන් ගිහින්. ඒක අහුවෙලා ඉස්කෝලෙන් අයින් කරලලු. පව් සුජාතා." අම්මා තව තවත් දේ පැවසුවත් මගේ අවදානයක් ඒ වෙත නොවිය.

      මගේ මනසේ ඇඳුනේ එදා කුණු බෑගය රැගෙන මට පිටුපා ගිය සුජාතා අක්කාවය. ඇය විඳ ඇති දුක් කම්කටොලු නිසාමදෝ ඇයගේ හිසකෙස් අකලට පැසී තිබිණි. ඊටත් වඩා සිතට කාවැදුණු දෙය නම් ඇය හැඳ සිටි ටී ෂර්ටයේ පිටුපස සඳහන් කොට තිබුණු T A R G E T යන වදනයි. ඒ ඇය බැදී සිටි පෞද්ගලික ආයතනයේ නාමය වූවත් ඇයගේ දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීම සඳහා එම රැකියාව ඇයගේ                  T A R G E T එක වූ බව මා හට නොරහසක් විය.





Sunday, October 7

ආයු බොහෝ වේවා! :D


විස්සයි විස්සේ උණුහුමත් එක්ක අයිස් නැවතත් කරලියට.......




   අයිස් කිව්වේ, අර ඉස්සර බ්ලොගේට පොස්ට් එහෙම ලිය ලියා ඉඳලා දුෂ්කර පළාතක රාජකාරියක් එක්ක අතුරුදහන් වුණ අයිස් හොඳේ..... :P (මේ ටිකට තවත් අයිස්ලා බ්ලොග් ලෝකෙට පැමිණ ඇත්දැයි සැක සිතී)

   මේ ටිකට බ්ලොග් ලෝකේ ගොඩක් දේවල් වෙනස්වෙලා නේ. මට සයිබර් උළෙලත් මග ඇරුණා. ඔබා මාමා අපි අතරින් වියෝ වුණු බව ඇහුවම මට අදහගන්නත් බැරි වුණා. ඒ ගැන ගොඩක් කණගාටුයි. :( ඒ අස්සේ බස් රේඩියෝවේ සම්මාන උළෙලක් ගැනත් ආරංචි.... :)

  ඉතින් කොහොමද කට්ටියගේ සැප සනීප එහෙම? මම නම් දැන් ගොඩක් හොඳින්, ගොඩක් සතුටින්. මොකද මාස හයක් ඉනාමළුවේ ගෙවුණු කටුක, අපහසු ජීවිතේ ඉවරකරලා අයිස් ආයෙමත් ගෙදර ඇවිත් ඉන්නේ. දැන් රැකියාව කරන්නේ නුවරම නිසා මං දැන් සතුටින්.  :D

      ඉස්සෙල්ලම සමාවෙයල්ල දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වුණාට. මීට මාස හයකට විතර ඉස්සර අන්තිම පෝස්ටුව දැම්මේ ඉක්මනටම ලියන්න එනවා කියල පොරොන්දු වෙලා නේ. ඒත් මාස හයක් යනකන් මට ඒ පොරොන්දුව ඉටු කරන්න බැරි වුණා නෙව. හේතුවද ඇහුවේ? ඉනාමළුවේ සිටියදී හච් ඇරුණම අනිත් හැම බඩකඩිත්තු පැකේජ් එකක්ම පාවිච්චි කරලා බැලුවත් ඉනාමළුවට නම් 3G අරහං. ඉතින් කොහොමැයි බ්ලොගේ ලියන්න එන්නේ.

       ගෙදර අයගෙන්, යාලුවන්ගෙන් ඈත්වෙලා හිටිය නිසා වගේම මගේ සාමාන්‍ය දින චර්යාව වෙනස් වුණු නිසාම කිසිම නිර්මාණාත්මක අදහසක් ක්‍රියාත්මක කරන්න තරම් මට ඉස්පාසුවක් තිබුණෙත් නෑ. ඉතින් ලියන්න පටන් ගත්තු කතාවත් අතරමග නතර කරලා දාලා පොත් කියවන්න විතරක් වෙලාව වෙන් කරගෙන තමයි මම හිටියේ. ඒත් දැන්, පරණ පුරුදු ක්‍රමේටම මගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න මට පුළුවන් වෙයි කියල විශ්වාස කරනවා. ඒ නිසාම අද මේ කොලම පැත්තේ ආවේ මකුළු දැල් ටික එහෙම කඩලා,පොඩ්ඩක් සුද්ද පවිත්‍ර කරලා යන්න. මොකෝ මම ආයෙත් ලියන්න පටන් ගන්නයි යන්නේ. :D

      බ්ලොග් එක පටන් ගෙන අවුරුද්දකටත් වැඩි වුණාට තාම පෝස්ට්ස් 50 ක් වත් ලියාගන්න මට බැරි වුණා. ඒ හැම අඩුපාඩුවක්ම මගහැරගෙන අයිස් ආයෙත් ලියන්න පටන් ගන්නවා. ඉස්සර වගේම හැම කෙනෙක්ගෙම පොස්ටුවලටත් හොම්බ දාලා යන්න එන්නම්කෝ හොඳේ...

ජය වේවා!

තටු  සලන මතකයන්  හිත් මානයෙන් ඉගිලී යන්නට පෙර 
සයිබරයේ අකුරු කෙරෙන 
ICEගේ කොලම..................

Monday, April 16

අතුරුදහන් වීම!


ඔන්න එහෙනම් නමෝ විත්තියෙන්ම කිව්වා හැමෝටම 
    "ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා!"

    කස්ටියට අයිස්ව අමතකත් වෙලාද මන්ද... කොලමේ පොස්ට් 1 ක්, කමෙන්ට් 1 ක් නැතුව ලොකු කාලයක් ගෙවුණා නොදැනුවත්වම... බ්ලොග් ලෝකේ අලුත් වෙලා... වෙනස් වෙලා... හැමෝම අලුත් පෝස්ට්ස් ලියලා.. හැම පොස්ට් එකක්ම කියවන්න නම් වෙලා නෑ.

     වහෙන් ඔරෝ නැතුව ඔහෙන් වරෝ කියලා දැන් මේ කියන්න හදන්නේ මගේ අතුරුදහන් වීම ගැන...
හා හා පුරා කියලා ඔන්න මමත් දැන් රැකියාලාභියෙක් වෙලා.. :D නිකන් නෙමෙයි, ටිකක් පිටිසර පළාතක. දැන් මගේ පදිංචිය සීගිරියේ ඉනාමළුවේ.... මම අන්තර්ජංජාලයට පිවිසෙන්නේ එයාර්ටෙල් සම්බන්දතවයකින් වීමත්, ඉනාමළුවට එයාර්ටෙල් අරහන් වීමත් නිසා අයිස් පැටලී ඇති පඹගාල ගැන යම්තරමක හෝ අවබෝධයක් ඔබ සැමට ලැබෙතැයි අනුමාන කරමි.. :P (මේ පෝස්ටුව ලියන්නේ රැකියාවේ ප්‍රථම එක්දින නිවාඩුව සඳහා නිවසට පැමිණි අවස්ථාවේ බවත් කරුණාවෙන් සලකන්න)

     වෙනත් අන්තර්ජාල සබඳතාවයකට මාරුවීම සඳහා කුළුඳුල් වැටුප ලැබෙනතෙක් ඉවසීමට සිදුවන නිසා පෝස්ටු සහ කමෙන්ටු ප්‍රමාද වීම් සිදුවේවි. ;) ඩෝන්ට් වොරි හොඳේ! 

    රැකියාවට ගියත් "තුහින වර්ෂාවට" කුමක් සිදුවීද.... දිනේෂ් අයියා අලුත් කතාවක් ලියනවා ඇතිද.... හිතු අක්කා දැන්වත් ඩබල් වී ඇතිද..... සෑමා තවමත් වැලහින්නට පෙම් කරනවාද.... හිස් අහස දැන්වත් පිරි ඇතිද....... ලට්ට ලෝට්ටේ කුමක් ලියවේද........ (අනෙකුත් සියලු බ්ලොග් සහෘදයන්ගේ බ්ලොග් ද ඇතුළුව) යනුවෙන් ප්‍රශ්න නම් එලෝ කෝටියකි... උමා සමග අන්දාලි නගා දින කීපයකට පෙර අයිස්ගේ රැකියා ස්ථානයට පැමිණ සැපදුක් අසා ගිය නිසා කොලමට අලුත් කතාවක් ලිවිය යුතු බවත් හදිස්සියේම සිහිවිය.

     ඉතින්...... සියලුම ප්‍රශ්න වලට විසඳුමක් සමග කොලමේ ඊළඟ පෝස්ටුව ළඟදීම ලියවේවි... එතෙක් ඔබ සැමට ජයෙන් ජය! 

   දිගු නිහැඬියාව අතරේ අයිස් දියවෙලා දැයි සොයා බැලූ සියලුම සහෘදයන් හට බෙහෙවින් ස්තුතියි! 

බුකියට අවුරුදු සුබ පැතුම් එක් කල සියලු දෙනාටත් ස්තුතියි!


     ප/ලි: අද දිනය වන විට "මහිම මන්දහාසියේ" විද්‍යුත් පුස්තකයේ බාගත කිරීම් ගණන 85 ක් වී ඇති බව ඔබ හට දැනුම් දෙන්නේ හද පිරි සතුටෙනි!







Friday, March 9

~දේදුනු පැහැ සිහිනයක්~ [කෙටිකතාව]

   වැව් දියරැළි පිසගෙන හමන හිතුවක්කාර හීන් හුළඟට මුණ දී හුන් මා දෙනෙත් යොමුව තිබුණේ බෝගම්බර වැව් මැද්දේ දඩයමේ යෙදෙන දියකාවෙකු දෙසටය.

   "අන්න ඔයාගේ නෑදෑයෙක්" ඈත වැව් කොනේ මසුන් දඩයම් කරමින් පසුවූ දියකාවෙක් දෙසට සුරත දිගුකරමින් ඔහු පැවසුවේ මීට කලකට ඉහතය. ඒ අප හොඳම මිතුරන් වූ අවදියයි.

    "ඇයි මොකද මාව දැන් පෙන්නේ දියකාවෙක් වගේද?" ඔහුට රවමින් ඇසුවෙමි.

     "නෑ ඉතින්... ඒ වගේම නෑ" කතාකරනවිට ඔහු එසේ ඇද පැද පවසන්නේ යමක් සිතේ සඟවාගෙන බැව් මා දැන උන්නේ අත්දැකීමෙන්මය.

    "එහෙනම්?" 

   "ඌ ඔයාට වඩා පොඩ්ඩක් සුදුයි"  මහ හඬින් සිනාසෙමින් අප ඉඳ සිටි බංකුවේ කොනට රූටමින් ඔහු පැවසුවේ ඉන්පසු මගේ ප්‍රතිචාරය ඉවෙන් මෙන් දැනුණු නිසා වෙන්නට ඇත. වෙනත් අවස්ථාවක නම් කන මිරිකීමෙන් හෝ 'චටාස්' ගා ගුටියක් දෙමින් ඔවැනි දේවලට ප්‍රතිචාර දැක්වූ මා එදා නිහඬව සිටියේ මන්දැයි තවමත් මා හට නිනව්වක් නැත්තේය.

  ජීවිතයේ ප්‍රථම වතාවට ඒ දෑස්වල කාන්තිය මා දුටුවේ එදිනය. කැරලි ගැසුණු කොණ්ඩය, දිදුලන දෑස්, දඟකාර සිනහව ......... අන් කවරදාකටත් වඩා ඔහු දෙස මා එවේලේ බලා හිඳින්නට ඇත.

   "මොකෝ මෝඩි?" නැවතත් මා අසලට රූටමින් දඟකාර  සිනහවකින් මුව සරසන ඔහුගේ වදන් මා පියවි සිහියට ගෙන ආවේය. සමාව ඉල්ලිය නොහැකි වරදක් කල කලෙක මෙන් වැරදිකාර හැගීමකින් මසිත පිරිගියේ වසර ගණනාවක් ඔහු මාගේ හොඳම මිතුරා, ලබැඳි සොයුරා වූ නිසායැයි මා අනුමාන කරමි. මාගේ වෙනස දැනුණු කලෙක මෙන් ඔහුද නිහඬ වී අපට ඉදිරි පසින් වැව් තලයේ එහා ඉමෙන් විරාජමානව වැඩසිටිනා දළදා මාලිගය දෙස බලාසිටිනු නෙත් කොනෙන් ඔහු දෙස බැලු මා දුටුවේය.

   ඔහුට මාත්, මට ඔහුත් නොමැතිව දිවි ගෙවිය නොහැකි තරමට අප බැඳුනේ කෙදිනදැයි නිශ්චිත ලෙස මා හට පැවසිය නොහැකි නමුත් මේ බැඳීම සසර පුරුද්දක් යැයි අපේ බොහෝ මිතුරු මිතුරියන් පවසනු මා අසා ඇත්තේය. කොතෙක් මිතුරියන් ඇසුරු කලත් මාගේ පුද්ගලික දිවියෙහි සෑම රහසක්ම මා පැවසුවේ ඔහුටය. ඔහුත් එලෙසමය. 

   "අපිට කොලේ වැහුවට මුන් දෙන්නා සෙට් වෙලා වගේ බං" ඔහුගේ මිතුරන් ඇනුම්පද පැවසූයේ අපගේ බැඳීම ගැනය. නමුත් කිසි කලෙකත් ඔහු මා ගැනවත්, මා ඔහු ගැනවත් මිතුරු දමෙන් එහා ගිය බැඳීමක් ගැන නොසිතුවේය.  ඉදින් එදින මසිතේ ඔහු ගැන ඇතිවූ සුවිශේෂී හැගීම යටපත් කරගැනීමට මා උත්සාහගත්තේත් ඔහු මා වැරදි කෙල්ලක් යැයි සිතනවාට බියෙනි. නමුදු ඊට වසරකට පසු 'සිතුම් සත්සර' නමැති ඒ දඟකාර ඉලන්දාරියාගේ, සොඳුරු මිතුරාගේ, ලබැඳි සහෘදයාගේ ආදරණීය පෙම්වතිය වීමට තරම් මා වාසනාවන්ත කෙල්ලක වීමි.

    එදා මෙදා තුර බොහෝ කාලයක් ගෙවීගොස් අවසන්ව ඇත. ළඟ ලඟම දැනෙනා හුරු පුරුදු විලවුන් සුවඳ  විසින් මා සිතිවිලි වර්තමානයට කැඳවීමට සමත්වීය. මා මෙතෙක් වේලා බලාපොරොත්තුව උන්නේ ඔහුගේ පැමිණීමයි. සිතූගේ සුවඳ දැනුණත් හැරී ඒ දෙස නොබලන්නට මා ඉටා ගතිමි. ප්‍රමාද වීම ගැන පුංචි පහේ රණ්ඩුවක් ඇල්ලීමට සිත්වීම නිසාය. ආදරණීය ආමන්ත්‍රනයකින් ඇමතීම හෝ මාගේ කණ රත් පැහැ වනතුරු තදින් අල්ලාගෙන සිටීමක් මවිසින් බලාපොරොත්තු වූවත් සිදුවුයේ අනිකකි. දිගු සුසුමක් හෙලු ඔහු නිහඬවමවිත් ඇඟේ ගෑවී නොගෑවී ඉඳගත්තේය. එවන් කලකිරීමක්, විඩාවක් ඔහු වෙතින් කිසි කලෙක නොදුටු හෙයින් මසිත බෙහෙවින් කලබලයට පත්විය.

    "සිතූ..."

    "හ්ම්ම්..." හැගීම් වලින් තොරවූ එකම එක බැල්මක් පමණක් හෙලා වැව් දිය මත දෙනෙත් රැඳවු ඔහුගෙන් පිලිතුරක සේයාවක්වත් නොමැති විය.

    "ඇයි මේ? මොකද්ද ප්‍රශ්නේ?" ඔහුගේ උරහිසට මෘදු ලෙස අතක් තබමින් මා විමසුයේ හැකි තරම් සන්සුන් විලාසයෙනි.

    "ලොකු ප්‍රශ්නයක් බබා" ඔහු හඬ අවදි කලේ මද වෙලාවකට පසුවය.

    "මොකෝ වුණේ කියන්නකෝ?" එවර නම් මාගේ හඬේ කලබලය දෙගුණ වී තිබිණ..

    "මට අපේ ගෙදරින් ප්‍රොපොසල් එකක් ගෙනල්ලා " 

    "මොකක්?" 

   "මට එයාව කසාද බඳින්නලු" සිතූගේ වචන ඇසුනේ එහා ලෝකයක සිට එන හඬක් මෙනි. ඉමක් කොනක් නොදන්නා මහා කාන්තාරයක අතරමං වූවෙකුට සමාන සිතිවිලි දාමයක් ක්ෂණිකව මසිතෙහි ඇඳෙන්නට විය. ඒ ආදරණීය ඉලන්දාරියා මගේ නොවී අනෙකෙකු හට අයිතිවීමක් ගැන සිහිනෙන්වත් නොසිතු හෙයින් මෙවන් දෙයක් කෙසේ නම් මා දරාගන්නද? නැත එය සිහිනෙන්වත් සිදුවිය යුතු නැත. එවන් වෙන්වීමක් බලාසිටිනවාට වඩා මරණය යෙහෙකැයි සිතීමි. දෙනෙත් හරින්නට මහත් වෙහෙසක් දැරුවද, ලේ මස් නහර උණු කරවමින් වේගයෙන් දෙනෙතට උනමින් තිබු කඳුළු නිසා එය අසීරු කටයුත්තක් විය. 

  මගේ හිස ඔහුගේ පළල් උරතලය මතට වාරු කරගත් සිතුම් මා අස්වසාලීමට නොයෙකුත් දේ පවසමින් උන්නද ඒ ගැන මාහට නිනව්වක් නොතිබුණේය. සිතුම් හැඳ සිටි අහස් නිල් පැහැ කමිසයෙන් හරි අඩක්ම පෙඟී තිබුණේ මා දෑසට ඉනූ උණු කඳුළු නිසාය. කොතෙක් වේලා එසේ කඳුළු සලමින් උන්නා දැයි වැටහීමක් නොතිබූ මා අවසානයේදී බොහෝ ලෙස හෙම්බත්ව උන්නාය. ඔහුගේ උරතලයෙන් හිස මුදා ගන්නට ලෝබකමක් දැනුණද ඒ වෙනකෙකුට අයිති වස්තුවක්ය යන පරාජිත සිතිවිල්ල විසින් මා හිස ඒ පුළුල් උරතලයෙන් මුදා ගනු ලැබීය. 

    "කවුද සිතූ ඒ වාසනාවන්ත කෙල්ල?" අතිශය වේදනාවකින් මා ඒ විමසීය.

    "හ්ම්ම්........එයා තරුෂි මන්දාරා අබේකුලවර්ධන කියල කෙනෙක්

   ඒ පමණක් කියා ඉස්සර දවසක මෙන් බංකුවේ කොනට රූටමින් මහහඬින් සිනාසුනු සිතුම් දෙස මා බැලූයේ අදහා ගත නොහැකි යමක් කණ වැකීම නිසාය. තරුෂි මන්දාරා අබේකුලවර්ධන ඒ මාගේ ආදරණීය දෙමවුපියන්ගෙන් ලැබුණු මගේ නමයි. එවර නම් මා හට නිහඬව සිටීම කිසිසේත්ම කල නොහැක්කක් විය. 

       "මෝඩයා" යැයි අමතමින් සිතුම්ගේ දකුණු කණ රත් පැහැ වනතුරු සිත්සේ ඇඹරීමට මට හැකිවිය.


ප/ලි : (ලැජ්ජාවෙන්) මේ කෙටිකතාවක් ලියන්න ගත්ත මගේ කුළුඳුල් උත්සාහය..:D ව්‍යාකරණ දෝෂ සහ අඩු පාඩු පෙන්වා දීම් බොහොම ආදරෙන් බාරගන්න මග බලාගෙන ඉන්නවා.. මීට අයිස්..