මං බිම බලාගෙන මූණත් ඇඹුල් කරගෙන ඇස් දෙක පියාගත්තා. නිල් නාල බස් එකේ යන විදිය හිතේ ඇඳගත්තා. අනේ අම්මප මෙහෙමත් කරුමයක්..නිල් නාන්න සැදී පැහැදී එයාලව පහු කරගෙන යනවා. ජයග්රාහි ලෙස නෑවා,නෑවා,නෑවා.....ඔන්න නෑවා... ඔන්න නෑවා.............මං එයාලව පහු කරා.ඈ...කෝ........ කෝ නෑනේ... නිල් ගැහුවේ නෑ. වෙන්න බෑ. මං හීනයක්වත් දැක්කද අප්පා මේ පට්ට දවල්? හැරිලා බලනකොට දැක්ක දෙයින් ඇස් අදහ ගන්න බැරි වුණා.
මහිම? එයා කොයි වෙලේද මෙතෙන්ට ආවේ? මං ඇස් දෙක පිහිදාලත් බැලුවා. ඔව් ඒ මහිමම තමයි. මට බස් එකට නගින්නත් අමතක වෙලා කියල මට තේරුනේ මහිමත් හැරිලා මං දිහා බලනකොට. ආයේ ඉතින් බොරු කියන්න ඕනේ නෑ. කොටින්ම කිව්වොත් මං ඒ වෙලාවේ හිටියේ අඬන්න ඔන්න මෙන්න සයිස් එකට. මහිම මට මොනවහරි කියන්න හැදුවත් ලැජ්ජාවටම මං ඉක්මනට බස් එකට නැගල වාඩිවුනා. හිතේ ගැස්ම නම් තාම පොඩ්ඩක්වත් අඩුවුණේ නෑ. තාම වෙලාව 5ට නැති නිසා බස් එකේ මහා ලොකු සෙනගක් හිටියේ නෑ..
'අනේ සොරි වෙන්න ඕනේ. ඔයා කවුද කියල දන්නේ නැතුව තමයි අපි නිල් ගහන්න ලෑස්ති වුණේ. සොරි'.මට මුකුත් හිතා ගන්න බැරිවුණා. මොකද්ද අප්පා ඒ අපබ්‍රංශෙ?? ඇයි මං කවුද? ඔන්න එතකොටම මහිමත් පිටිපස්සේ දොරෙන් බස් එකට නැග්ගා. මං හෙන අසරණ හිදියට හිනාවුණා.
'අනේ සොරි විශ්, ඔයා මධූ අයියගේ නංගි කියල මුන් දන්නේ නෑ. ඒකයි මේ. වෙලාවට මං ආවේ'. අහ් ඒකයි මේ. ඔව් නේ. මං මධුකගෙ නංගි නේ. මට නිල් ගහල ඉතින් මෙයාල ආයේ ඉස්කෝලේ යන්නයැ. ෂාහ්.... බලාගෙන ගියාම අපේ අයියකාරයත් ඉස්කෝලේ හෙන පොරක්නේ.
'ඒකනේ. ගෑනු ළමයෙක්ට නිල් ගැහුවම බස් එකකවත් යන්නේ කොහොමද කියල හිතුවේ නෑනේ ඔයාලා'.මං නිකන් චන්ඩියා වගේ කිව්වා.
'අපෝ සොරි සොරි.. මධූ අයියට නම් කියන්න එපා. ප්ලීස්.. මොන පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නෑ' නිල් බෝතලේ අතේ තියාගෙන හිටපුකෙනා කිව්වා. දැන් බලාපල්ලකෝ ශේප් එකට කතා කරන හැටි විතරක්.
'හරි හරි,මං කියන්නේ නෑ'.
'තැන්කූ තැන්කූ .... එහෙනම් අපි ගියාවේ ඈ... බායි.' එහෙම කියල ඒ දෙන්නා බස් එකෙන් බැස්සත් මහිම ටිකකට නැවතුණා. ඇත්තටම මහිමලගේ ගෙවල් කොහෙද කියලවත් මං තාම දන්නේ නෑ. එයත් මේ බස් එකේ යනවාවත් ද?
'Exam කොහොමද විශ්? එයා ඇහුවේ හරි ආදරණීය විදියට.
'හොඳයි ඉතින්. Results ආවම තමයි වැඩේ.. හි හි... ඔයාට?'
'බස් එක යන්නවගේ හදන්නේ.එහෙනම් මං බහිනවා විශ්.අරුන්ට සොරි වෙන්න හොඳේ. බායි. පරිස්සමින් යන්න. බුදුසරණයි'....එයා කියවගෙන කියවගෙන ගිය ටිකට උත්තරයක් දෙනවා වෙනුවට මට පුළුවන් වුනේ යන්තම් හිනාවෙන්න විතරයි. මොනවා කියන්නද කියල හිත ගන්න බැරිව ඉන්නකොට මහිම මට අතත් වනාගෙනම බස් එකෙන් බැස්සා. 'පරිස්සමින් යන්න. බුදුසරණයි' හරි ආදරෙන් , අහිංසක විදියට මෙහෙම කිව්වම ගෑනු ළමයි අසරණ වෙනවා කියලා මේ ඉලන්දාරින්ට නොතේරෙන හැටි.....
*****
'තමුසෙට අපේ පොඩි එවුන් වගයක් නිල් ගහන්න ගියද?' ගෙට ගොඩ වෙනකොටම අයියා අහපි. ඔය බලහල්ලකෝ ඉතින් ,මට කියන්න එපා කියලා එයාලම කියලා.
'ඔව් හලෝ. ඉස්කෝලේ තියෙන හැදිච්චකම තමයි ඉතින් ... මට ගහන්න හිතුණා දත් ටික බඩට යන්න'
'අනේ ඔව් ඔව්... මට මහිමයා කිව්වා තමුන්ගේ චන්ඩි පාර්ට් එකේ තරම. හොටු පෙරාගෙන අඬන සයිස් ලු. ඒකට මොකද කට නම් තියෙනවා' අයියා මහා නොන්ඩි විදියට කිව්වේ. ඒ කියන්නේ මහිම තමයි කියලා තියෙන්නේ. එයා ඇත්තටම එහෙම කියන්න ඇතිද? නෑ මේවා මේ අපේ අයියගේම වචන නෙ.
'ඇයි පුතේ මෙච්චර පරක්කුවුනේ?' අයියගේ වෙලාව හොඳ නිසාමද කොහෙද අම්මි එහෙම අහගෙන කුස්සියේ ඉඳන් සාලෙට ආවා. නැත්තන් මෙයා මගෙන් කනේ පාරක් කන්න ලෑස්තිවුණේ.
*****
ඇත්තටම අද මට වෙන්න ගිය වින්නැහිය අපේ සෙට් එකත් එක්කවත් කියන්න මට ලැජ්ජයි අප්පා.. මාසයක් බයිට් එක මං වෙයි. අද මහිම ආවේ නැත්තන් මං කොහොම ගෙදර එයිද? මට මැවිලා පේනවා අනේ. හිනාත් යනවා මතක් වෙනකොට. ඔන්න ඒ අස්සේ මොබයිල් එකත් රින්ග් වෙනවා. සඳු....
'කියහන්'
'ආ.... නිල් කුමාරී.... ගෙදරද? ' මේ ටිකට මෙයාලට ආරංචි වුණේ කොහොමද? දැන් ඉතින් වසලා හමාරයි.
'කවුද කිව්වේ?' ඇත්තටම මං ඇහුවේ පුදුමෙන්.
'මහිම කුමරයාලුනේ බේරාගත්තේ?' අප්පෝ.... කාලා වරෙන්කො දැන් ඉතින්.
'කවුද බොල ඔය ගිනිගෙඩිය දුන්නේ?
'මධූ අයියා , විනූට කියලා. ඇත්තද බොරුද කියලා බලන්න මං මේ ගත්තේ. හි හි...'
'ආ... එහෙනම් අයියයි, නෑනායි එකතුවෙලා මට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා නෙ? බලාගමුකෝ'
'කතාව ඇත්ත නේ?'
'ඔව් බං. හෙට අපේ ගෙදර එනවද? මට කතා කරන්න ඕනේ උඹලත් එක්ක' මහිම ගැන මෙයාලත් එක්ක කිව්වේ නැත්තන් ඒක හිතට ලොකු බරක් වෙයි.
'මං දන්නවා කවුරු ගැනද කතාකරන්න ඕනේ කියලා. ගෙදර කතාකරන්න අවුලක් නැද්ද?'
'හ්ම්.... අම්මි හෙට ලොකු අම්මිලගේ ගෙදර යනවා කිව්වා. අයියත් හෙට ඉස්කෝලෙට යයි එයාලගේ sports meet එකේ organizing වැඩකට. විනූවත් එක්කන් වරෙන්'
'හරි හරි, මං මංසලාටයි, දුලාටයි කතා කරන්නම්. හෙට 10ට?'
'හා ඒ වෙලාව හොඳයි'
'දැන් ඉතින් උඹද මගේ ෆෝන් bill ඒක ගෙවන්නේ? නෑනේ.. තියපන් තියපන්' සඳු හිනාවෙවී කියනවා.
'අපෝ ලෝබි. බායි'.
හෙට සඳුල ට අපේ ගෙදර එනවා කිව්වම මගේ හිතට දැනුනේ ලොකු සැහැල්ලුවක්. හිතේ තියෙන ඕනෙම දෙයක් යාළුවන්ට කිව්වම,හිතට සැහැල්ලුවක් වගේම, ප්‍රශ්නයක් නම් උත්තරේකුත් ලැබෙනවා කියලා අත්දැකීමෙන්ම මං දැනගෙන හිටිය.
දැන් ආයෙත් සුපුරුදු සැහැල්ලු ජීවන රටාවට වැටෙන්න මට පුළුවන්. ඒ නිසාම ගොඩ දවසකින් fb පැත්තේ ගිහින් එන්න ඕනේ කියලා මං හිතුවා. News feed එකේ ඉස්සෙල්ලම තිබුන news එක තමයි,
'Madhuka Gimhan went from being 'single' to 'in a relationship' '.
ආ... ඔය තියෙන්නේ. කෑවයි?? මහිමට වගේම අපේ අයියා පොඩ්ඩටත් වැඩිපුරම fb යාලුවෝ ඉන්නේ කෙල්ලෝ. වෙලාවට විනූ fb නැත්තේ. හිටිය නම් ඉතින් ඉරිසියාවේ පැලිල මැරෙනවා. මේ news එකටත් ඉතින් comments ගොඩක් තිබුණා.
'පුහ්.... මැස්සෙක් ගිය උඩ. :p. පව් ඒ girl.. කීවෙනි girlfriend ද ඔය?'කියලා තමයි මං කරේ. එත් ඉතින් මගේ අයියා ඒ ජාතියේ කොල්ලෙක් නෙමෙයි. විනාඩියක් ගියේ නෑ, ඒ comment එකට මෙහෙම reply එකක් එනවා.
'@Vishmi Sooriyabandara: මධූ අයියා ඒ ජාතියේ කොල්ලෙක් නෙමෙයි. ඔයාට වැරදිලා.'
සකුණි කියලා girl කෙනෙක්ගෙන්. පුහ්... ඒක කොහොමද? එකකුස උපන් මගේ සහෝදරයා ගැන මට කියලා දෙන්න එන්න මේ හෝ හපුට්ටි කවුද? ඕවටනේ ඉතින් මල පනින්නේ. දෙකක් අමතන්නම් කියලා ලෑස්ති වෙනකොටම මහිම comment එකක් පොස්ට් කරා එතන.
@Saku : විශ්මි කියන්නේ මධූ අයියගේ එකම නංගි පොඩ්ඩ. හි හි...'
මෙන්න මහිම ඒ පාර එයාට සකූ ලු. ඒ කියන්නේ මහිමත් මෙයාව දන්නවා. ඒ ආමන්ත්‍රණේ මට එච්චර ඇල්ලුවේ නෑ... මෙයා මහිමගේ girlfriend ද?
Exam එකක් තිබුණ නිසා මේ කොටස ලියන්න ගොඩක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න.. :D