වැව් දියරැළි පිසගෙන හමන හිතුවක්කාර හීන් හුළඟට මුණ දී හුන් මා දෙනෙත් යොමුව තිබුණේ බෝගම්බර වැව් මැද්දේ දඩයමේ යෙදෙන දියකාවෙකු දෙසටය.
"අන්න ඔයාගේ නෑදෑයෙක්" ඈත වැව් කොනේ මසුන් දඩයම් කරමින් පසුවූ දියකාවෙක් දෙසට සුරත දිගුකරමින් ඔහු පැවසුවේ මීට කලකට ඉහතය. ඒ අප හොඳම මිතුරන් වූ අවදියයි.
"ඇයි මොකද මාව දැන් පෙන්නේ දියකාවෙක් වගේද?" ඔහුට රවමින් ඇසුවෙමි.
"නෑ ඉතින්... ඒ වගේම නෑ" කතාකරනවිට ඔහු එසේ ඇද පැද පවසන්නේ යමක් සිතේ සඟවාගෙන බැව් මා දැන උන්නේ අත්දැකීමෙන්මය.
"එහෙනම්?"
"ඌ ඔයාට වඩා පොඩ්ඩක් සුදුයි" මහ හඬින් සිනාසෙමින් අප ඉඳ සිටි බංකුවේ කොනට රූටමින් ඔහු පැවසුවේ ඉන්පසු මගේ ප්‍රතිචාරය ඉවෙන් මෙන් දැනුණු නිසා වෙන්නට ඇත. වෙනත් අවස්ථාවක නම් කන මිරිකීමෙන් හෝ 'චටාස්' ගා ගුටියක් දෙමින් ඔවැනි දේවලට ප්‍රතිචාර දැක්වූ මා එදා නිහඬව සිටියේ මන්දැයි තවමත් මා හට නිනව්වක් නැත්තේය.
ජීවිතයේ ප්‍රථම වතාවට ඒ දෑස්වල කාන්තිය මා දුටුවේ එදිනය. කැරලි ගැසුණු කොණ්ඩය, දිදුලන දෑස්, දඟකාර සිනහව ......... අන් කවරදාකටත් වඩා ඔහු දෙස මා එවේලේ බලා හිඳින්නට ඇත.
"මොකෝ මෝඩි?" නැවතත් මා අසලට රූටමින් දඟකාර
සිනහවකින් මුව සරසන ඔහුගේ වදන් මා පියවි සිහියට ගෙන ආවේය. සමාව ඉල්ලිය නොහැකි වරදක් කල කලෙක මෙන් වැරදිකාර හැගීමකින් මසිත පිරිගියේ වසර ගණනාවක් ඔහු මාගේ හොඳම මිතුරා, ලබැඳි සොයුරා වූ නිසායැයි මා අනුමාන කරමි. මාගේ වෙනස දැනුණු කලෙක මෙන් ඔහුද නිහඬ වී අපට ඉදිරි පසින් වැව් තලයේ එහා ඉමෙන් විරාජමානව වැඩසිටිනා දළදා මාලිගය දෙස බලාසිටිනු නෙත් කොනෙන් ඔහු දෙස බැලු මා දුටුවේය.
ඔහුට මාත්, මට ඔහුත් නොමැතිව දිවි ගෙවිය නොහැකි තරමට අප බැඳුනේ කෙදිනදැයි නිශ්චිත ලෙස මා හට පැවසිය නොහැකි නමුත් මේ බැඳීම සසර පුරුද්දක් යැයි අපේ බොහෝ මිතුරු මිතුරියන් පවසනු මා අසා ඇත්තේය. කොතෙක් මිතුරියන් ඇසුරු කලත් මාගේ පුද්ගලික දිවියෙහි සෑම රහසක්ම මා පැවසුවේ ඔහුටය. ඔහුත් එලෙසමය.
"අපිට කොලේ වැහුවට මුන් දෙන්නා සෙට් වෙලා වගේ බං" ඔහුගේ මිතුරන් ඇනුම්පද පැවසූයේ අපගේ බැඳීම ගැනය. නමුත් කිසි කලෙකත් ඔහු මා ගැනවත්, මා ඔහු ගැනවත් මිතුරු දමෙන් එහා ගිය බැඳීමක් ගැන නොසිතුවේය. ඉදින් එදින මසිතේ ඔහු ගැන ඇතිවූ සුවිශේෂී හැගීම යටපත් කරගැනීමට මා උත්සාහගත්තේත් ඔහු මා වැරදි කෙල්ලක් යැයි සිතනවාට බියෙනි. නමුදු ඊට වසරකට පසු 'සිතුම් සත්සර' නමැති ඒ දඟකාර ඉලන්දාරියාගේ, සොඳුරු මිතුරාගේ, ලබැඳි සහෘදයාගේ ආදරණීය පෙම්වතිය වීමට තරම් මා වාසනාවන්ත කෙල්ලක වීමි.
එදා මෙදා තුර බොහෝ කාලයක් ගෙවීගොස් අවසන්ව ඇත. ළඟ ලඟම දැනෙනා හුරු පුරුදු විලවුන් සුවඳ විසින් මා සිතිවිලි වර්තමානයට කැඳවීමට සමත්වීය. මා මෙතෙක් වේලා බලාපොරොත්තුව උන්නේ ඔහුගේ පැමිණීමයි. සිතූගේ සුවඳ දැනුණත් හැරී ඒ දෙස නොබලන්නට මා ඉටා ගතිමි. ප්‍රමාද වීම ගැන පුංචි පහේ රණ්ඩුවක් ඇල්ලීමට සිත්වීම නිසාය. ආදරණීය ආමන්ත්‍රනයකින් ඇමතීම හෝ මාගේ කණ රත් පැහැ වනතුරු තදින් අල්ලාගෙන සිටීමක් මවිසින් බලාපොරොත්තු වූවත් සිදුවුයේ අනිකකි. දිගු සුසුමක් හෙලු ඔහු නිහඬවමවිත් ඇඟේ ගෑවී නොගෑවී ඉඳගත්තේය. එවන් කලකිරීමක්, විඩාවක් ඔහු වෙතින් කිසි කලෙක නොදුටු හෙයින් මසිත බෙහෙවින් කලබලයට පත්විය.
"සිතූ..."
"හ්ම්ම්..." හැගීම් වලින් තොරවූ එකම එක බැල්මක් පමණක් හෙලා වැව් දිය මත දෙනෙත් රැඳවු ඔහුගෙන් පිලිතුරක සේයාවක්වත් නොමැති විය.
"ඇයි මේ? මොකද්ද ප්‍රශ්නේ?" ඔහුගේ උරහිසට මෘදු ලෙස අතක් තබමින් මා විමසුයේ හැකි තරම් සන්සුන් විලාසයෙනි.
"ලොකු ප්‍රශ්නයක් බබා" ඔහු හඬ අවදි කලේ මද වෙලාවකට පසුවය.
"මොකෝ වුණේ කියන්නකෝ?" එවර නම් මාගේ හඬේ කලබලය දෙගුණ වී තිබිණ..
"මට අපේ ගෙදරින් ප්‍රොපොසල් එකක් ගෙනල්ලා "
"මොකක්?"
"මට එයාව කසාද බඳින්නලු" සිතූගේ වචන ඇසුනේ එහා ලෝකයක සිට එන හඬක් මෙනි. ඉමක් කොනක් නොදන්නා මහා කාන්තාරයක අතරමං වූවෙකුට සමාන සිතිවිලි දාමයක් ක්ෂණිකව මසිතෙහි ඇඳෙන්නට විය. ඒ ආදරණීය ඉලන්දාරියා මගේ නොවී අනෙකෙකු හට අයිතිවීමක් ගැන සිහිනෙන්වත් නොසිතු හෙයින් මෙවන් දෙයක් කෙසේ නම් මා දරාගන්නද? නැත එය සිහිනෙන්වත් සිදුවිය යුතු නැත. එවන් වෙන්වීමක් බලාසිටිනවාට වඩා මරණය යෙහෙකැයි සිතීමි. දෙනෙත් හරින්නට මහත් වෙහෙසක් දැරුවද, ලේ මස් නහර උණු කරවමින් වේගයෙන් දෙනෙතට උනමින් තිබු කඳුළු නිසා එය අසීරු කටයුත්තක් විය.
මගේ හිස ඔහුගේ පළල් උරතලය මතට වාරු කරගත් සිතුම් මා අස්වසාලීමට නොයෙකුත් දේ පවසමින් උන්නද ඒ ගැන මාහට නිනව්වක් නොතිබුණේය. සිතුම් හැඳ සිටි අහස් නිල් පැහැ කමිසයෙන් හරි අඩක්ම පෙඟී තිබුණේ මා දෑසට ඉනූ උණු කඳුළු නිසාය. කොතෙක් වේලා එසේ කඳුළු සලමින් උන්නා දැයි වැටහීමක් නොතිබූ මා අවසානයේදී බොහෝ ලෙස හෙම්බත්ව උන්නාය. ඔහුගේ උරතලයෙන් හිස මුදා ගන්නට ලෝබකමක් දැනුණද ඒ වෙනකෙකුට අයිති වස්තුවක්ය යන පරාජිත සිතිවිල්ල විසින් මා හිස ඒ පුළුල් උරතලයෙන් මුදා ගනු ලැබීය.
"කවුද සිතූ ඒ වාසනාවන්ත කෙල්ල?" අතිශය වේදනාවකින් මා ඒ විමසීය.
"හ්ම්ම්........එයා තරුෂි මන්දාරා අබේකුලවර්ධන කියල කෙනෙක්"
ඒ පමණක් කියා ඉස්සර දවසක මෙන් බංකුවේ කොනට රූටමින් මහහඬින් සිනාසුනු සිතුම් දෙස මා බැලූයේ අදහා ගත නොහැකි යමක් කණ වැකීම නිසාය. තරුෂි මන්දාරා අබේකුලවර්ධන ඒ මාගේ ආදරණීය දෙමවුපියන්ගෙන් ලැබුණු මගේ නමයි. එවර නම් මා හට නිහඬව සිටීම කිසිසේත්ම කල නොහැක්කක් විය.
"මෝඩයා" යැයි අමතමින් සිතුම්ගේ දකුණු කණ රත් පැහැ වනතුරු සිත්සේ ඇඹරීමට මට හැකිවිය.
ප/ලි : (ලැජ්ජාවෙන්) මේ කෙටිකතාවක් ලියන්න ගත්ත මගේ කුළුඳුල් උත්සාහය..:D ව්‍යාකරණ දෝෂ සහ අඩු පාඩු පෙන්වා දීම් බොහොම ආදරෙන් බාරගන්න මග බලාගෙන ඉන්නවා.. මීට අයිස්..