Thursday, December 29

~මහිම මන්දහාසි~ 16වන කොටස

        දැනට අවුරුදු දෙකකට විතර කලින් අපේ අයියා පදිංචි වෙලා හිටියේ මං දැන් ඉන්න කාමරේ. මං හිටියේ එයා දැන් ඉන්න උඩ තට්ටුවේ කාමරේ. ඒත් දවසක් මේ මනුස්සයා ගෙදරට හොරෙන් රෑ ජාමේ යාළුවොත් එක්ක මියුසිකල් ෂෝ එකක් බලන්න ගිහින් අප්පච්චිට අතේ මාට්ටු වෙලා තිබුණා. ඉස්සරහ දොර ලොක් කරලා තිබුණා නිසා මෙයා එළියට ගිහින් තිබුනේ කාමරේ ජනේලෙ ග්‍රිල් එකක් ගලවලා. ඊට කලිනුත් මෙයා ඔය වගේ වැඩ කරලා තියෙන විත්තිය එදා ඔප්පු වුණා. හැබැයි එහෙම හොරෙන් කොහේ ගියාද කියල මං නම් දන්නේ නෑ ඕන්. මට මතක විදියට එතකොට එයා එකොළහ වසරේ හිටියේ. ඔය අනම් මනම් කේස් නිසාම ඒ දවස් වල අපි දෙන්නගේ කාමර දෙක මාරු කරන්න සිද්ද වුණේ මගේ අවාසනාවට කියලයි මට නම් දැන් හිතෙන්නේ.


        සාලෙන් මහිමගේ කටහඩට ඇහුම්කන් දෙන ගමන්, මං හිමිට ජනේලෙ ඇරලා එළිය බැලුවේ කවුරුත් හිටියොත් කියල බයේ. තාමත් යන්තම් එළිය වැටුණ විතරක් නිසා පාරේ වැඩිය කට්ටියත් නෑ. තුවායත් කරේ දාගෙන මං ඉස්කුරුප්පු නියනෙන් ජනෙල් ග්‍රිල් වල තිබුණු ඇන ගලවන්න පටන් ගත්තා. හිතුවට වඩා ලේසියෙන් ඒ වැඩේ ඉවර කරන්න මට පුළුවන් වුණා. ෂුවර් එකටම අයියන්ඩි අපිට කිව්වට වඩා හොර ගමන් මේ ජනේලෙ හරහා ගිහින් තියෙන පාටයි. ගලවපු ග්‍රිල් එක කාමරේ බිමින් තියලා පරිස්සමට බෙල්ල එළියට දාල බැලුව. ම්හු... ගමන් මග පැහැදිලියි. එලම තමයි. ජනෙල් පඩිය උඩට නැගලා එළියට පැන්නා විතරයි,


         'නංගි????'. මෙන්න යකෝ අපේ අයියා හෙල්මට් එකත් අතේ තියාගෙන හොල්මනක් දැක්ක වගේ ගල් ගැහිලා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒක නම් හරි කියමුකෝ. ඒත්......... ඒත් මට එල්ලෙන්න පිදුරු ගහක්වත් නැතිවුණේ අනිත් හෙල්මට් එක අතේ තියාගෙන අයියට පිටිපස්සෙන් මගේ දිහා බලාගෙන ඉඳපු තරු ඇස් දැක්කමයි. ඒ ඇස් පුදුමෙන් ලොකු වෙලා තිබුණේ.

        මට ඒ වෙලාවේ මතක් වුණේ එකම එක දෙයක් විතරමයි. ඒ ඉන්දිකා උපමාලි කියන සින්දුවක රීමික්ස් වර්ෂන් එකක්..
        'අනේ මම බින්කුන්ඩෙක් වුණා නම්... ම්... ම් ...ම්' ඇයි හත්වලාමේ බින්කුන්ඩෙක් වුණා නම් ඒ වෙලාවේම මං වලක් හාරාගෙන වැළලෙනවා.. අම්මපා. ඇයි දෙයියනේ මං කාට කරපු වැරද්දක්ද මට මේ පටිසන් දුන්නේ??

       'මොකද මේ?' අයියා තාමත් පුදුම වෙලා. මහිම හිනාව නවත්තගන්න ඕනේ නිසාද කොහෙද හිමීට අහක බල ගත්තා.

       'නිකන්.. ඇයි?' 

      'නිකන්?? නිකන් ජනේලෙන් පනින්න මොකද ඒ පාර තමුසේ අපිට හොරෙන් උදේට උදේට ජොගින්වත් යනවද, තුවායත් කරේ දාගෙන?' ඒක නම් අයියා ඇහුවේ ඔලොක්කුවට වගේ හිනා වෙන ගමන් මහිම දිහත් බලලා. තාමත් අරයා ඉන්නේ අහක බලාගෙන. මේ වෙලාවේ අයියත් එක්ක රණ්ඩු වෙන එක හොඳ වැඩක් නෙමෙයි කියල මට හිතුණා. හවසට වරෙන්කො ගෙදර..

      'ඔව්.. ඇයි ඔයත් එනවද? ඒ කතාවට නම් මහිමට මං දිහා බැලුනා, ඒත් තප්පර ගානකින් ආයෙත් එයා අහක බලගත්තා. මං තාම දත් මැදලත් නෑනේ. මහිමට මාව නිකන් නරලොව හොල්මනක් වගේ පේනවද මන්ද.

      'අනේ මේ මට ඕනේ තරම් වැදගත් වැඩ තියෙනවා කරන්න.. යමන් බං යන්න. මෙයත් එක්ක හිටියොත් අපෙත් ඔලුව නරක් වෙනවා'. මහිමට කියන ගමන් අයියා බයික් එකට නැග්ගා. 

      එතන ඉන්න කොයි තරම් උවමනාව තිබුනත් මහිම දිහාවත් නොබලා මං ගේ ඇතුලට ආවා. කාමරේට ඇවිත් ඇඳේ ඉඳ ගන්නකොට බයික් එක යන සද්දෙත් ඇහුණා. අයියල ගිහින් ටික වෙලාවකින් මට අඬුනා. කොහෙත්ම බලාපොරොත්තු  නොවුණු විදියට එක දිගටම ඇස් වලින් ගලාගෙන එන කඳුළු නවත්තන්න මං උත්සහ කරේ නෑ. දුකට ද, බලාපොරොත්තු කඩවීමට ද, නැත්තම් ලැජ්ජාවට ද කියන්න නොතේරුණත් මං හොඳටම ඇඩුවා. 

******

      දවස් ගානක් යනකන්ම එදා උදේ වුණ සිදුවීම හිතෙන ඈත් කරලා තියන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ. කොයි වෙලේ හරි මහිම ඒ ගැන නෝන්ඩි විදියට අහල ෆේස්බුක් එකට මැසේජ් කරයි කියල මං බලාපොරොත්තුවෙන් හිටියත් එහෙම දෙයක් වුණේ නෑ. මහිම වෙනද සාමාන්‍ය විදියටම මාත් එක්ක කතා කරා. ආයෙත් ඒ සිදුවීම ගැන අයියා මගෙන් ඇහුවෙත් නෑ.

     ඒ සිදුවීමෙන් මං මගේ ජීවිතේට ලොකු පාඩමක් ඉගෙන ගත්තා. වෙනද පස්සට එළිය වැටෙනකන් නිදා ගන්න මං ඊට පස්සේ කොයි තරම් කම්මැලි වුණත් හැමදාමත් උදෙන්ම නැගිටින්න පුරුදු වුණා. අම්මි තේ එක ගෙනල්ල දෙනකන් නොයිඳ තනියම තේ හදාගෙන බොන්න පුරුදු වුණා. කාමරේ පිළිවෙලට තියාගන්න, ගේ හැඩි නොකර තියාගන්න පුළුවන් තරම් මහන්සි වුණා. මගේ හැම වැඩක්ම පිළිවෙලට කරනවා දැකපු අම්මි, අප්පච්චි කොටින්ම මගේ අයියා පවා මගේ වෙනස ගැන ගොඩක් පුදුම වුණා. තැනක් නොතැනක් නැතුව දඟ කරන්න මං ඉගෙන ගත්තේ අයියගෙන්. පුංචි කාලේ ඉඳලම මගේ එකම සහෝදරයව අනුකරණය කරන්න පුරුදු වෙලා හිටිය මං ඒ ඇබ්බැහියෙන් මිදෙන්න උත්සහ කරා. 

      'ඕන් බලාපල්ලකෝ ඉතින්. ප්‍රේමයක් කල හදියක් නේ...ද?' මගේ කතාව අහපු සඳු නිකටට අතකුත් තියාගෙන පැහිච්ච තාලෙට කියපු කතාව ඇහුණාම මට හිනා ගියා.

මගේ හිත යට හැංගිලා සිටි 
ආදරේ එළියට අරන්...
ජීවිතේටම ඔබ තිළිණ කල
පිළිවෙලක අරුමය බලන්.....

      මහිම වෙනුවෙන් මගේ හිතේ පොදි ගැහුණු ආදරේ අකුරක් නෑරම දින පොතේ ලියවෙන එක නම් මගේ පුරුද්දක් බවට පත්වුණා. පෙබරවාරි මුල් සතිය ගෙවෙන මොහොත වෙනකොට මන්දහාසි මහිමගේ හොඳම යාලුවෙක් විදියට හිත දිනාගෙන හිටියා. ඒත් ඒ වෙනකන් මහිමට මන්දහාසිව හොයාගන්න නම් පුළුවන් කමක් තිබුණේ නෑ. 

      ඊට පස්සේ සතියේ තෝමස් එකේ ස්පෝර්ට්ස් මීට් එකත් තිබුණා. මගේ අයියගේ,මහිමලාගේ මාසගානක මහන්සියේ ප්‍රතිපලේ අතිසාර්ථක එකක් විදියට හැමෝගෙම පිළිගත්තා. එදා අපේ සෙට් එකම මාත් එක්ක බෝගම්බර ග්‍රවුන්ඩ් එකට ගිහින් හිටියා. 
'අනේ මේ දෑස කුමටද බං?'

'මේ කොල්ලෝ ඇයි බං මේ තරම් ලස්සන වෙලා ඉපදෙන්නේ?'

'අර බලපන්කො ලස්සන. දුකේ බෑ'

'අරයා මගේ හරී... එන්න එපා එකෙක්වත් අයිතිවාසිකම් කියන්න ඔන්න'

       අපේ සෙට් එකටම එදා රජ මගුල්. ඇයි ඉතින් මුළු බෝගම්බරම එකම කොලු ලෝකයක් වෙලානේ තිබුණේ. අපේ උන් කියන කතා වලට අපේ අම්මි, අප්පච්චි ඇහුනේ නෑ වගේ හිටියත් අහක බලාගෙන හිනා වෙනවා මං දැක්කා. ඒත් එදා මහිම නම් සෑහෙන්න බිසී වෙලා හිටියේ. ස්පෝර්ට්ස් මීට් ඉවර වෙනකන්ම එහෙට දුවනවා, මෙහෙට දුවනවා ඉවරයක් නෑ. ඒත් ඉඳල හිටලා අපි ලඟට ඇවිත් පොඩ්ඩක් කතා කරලා යන්නත් එයා අමතක කරේ නෑ. අපි එක්ක කිව්වට අම්මි, අප්පච්චි එක්ක. මාව දකින හැමවෙලේම හිනාවක් දාල යන්නත් අමතක කරේ නෑ. ඒ ගැන නම් හිතේ ලොකු සතුටක් වගේම පුංචි ආඩම්බරෙකුත් තිබුණා.
අන්තිමේට තෝමස් එකේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට අයියා ස්තුති කතාව කරන වෙලාවේ අම්මිට අඬුනා. ඒ දරුවෙක්ගේ ජයග්‍රහණයක් වෙනුවෙන් අම්ම කෙනෙක්ගේ ඇස් වලින් උනපු ආඩම්බර කඳුළු. අයියගේ කතාව අතරේ ආදරේ වෙනුවෙන් ඇස් වලට සතුටු කඳුළු උනපු තවත් කෙනෙක් හිටියා. ඒ විනූ....

___________________________________

        ටික දවසකින් මං යාලුවොත් එක්ක මාලිගාවට ගියා. මහිම මන්දහාසිට එව්ව හැම මැසේජ් එකක්ම යාලුවන්ට පෙන්නව්වම එයාල මට උපදෙස් ගොඩක් දුන්නා. ඒ හැම දේමත් එක්ක එදා දවස සැහැල්ලුවෙන් සතුටෙන් ගෙවිල ගියා. ඒත් හවස ගෙදර ආවම මට මුණ දෙන්න සිද්ද වුණේ මං හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණ  අවස්ථාවකට. 




 ප/ලි : මේ ටිකේ මගේ හිතට සතුටක් සැහැල්ලුවක් තිබුණේ නෑ කතාව ලියන්න තරම්. ඒ අතරේම තවත් වැඩ ගොඩාරියක් යෙදිලා තිබුණා නිසා මේ කොටස දාන්න සති දෙකකටත් වැඩිය පරක්කු වුණා.ඉස්සෙල්ලම ඒකට මට සමාවෙන්න. 
ඒ වගේම පොරොන්දු වුණ විදියට ගියා ඉරිදා කතාව ලියන්න බැරි වුණ එකටත් උමා සහ මල්කි මට සමා වෙන්න හොඳේ.. මුණු පොතට මට බැනල බැනලා මැසේජ් එවල තිබුණු හැමෝටම ගොඩාරියක් ස්තුතියි. ඔයාල නිසයි අදවත් ලියන්න හිතුනේ.... :))) කස්ටියගේ පෝස්ට්ස් බලන්න ඉක්මනින්ම එන්නම්කෝ.     ආ............. ඒ වගේම ඊයේ මගේ උපන්දිනේට සුබ පතලා තිබුණු බ්ලොග් අවකාශයේ මගේ යාළුවො හැමෝටමත් ගොඩාක් ස්තුතියි... :DD

Friday, December 16

අඹේපුස්ස = The Missing + The Bad Smell

        කම්මැලි අෆ්ෆා.... ගොඩ දවසක ඉඳන් බාගෙට ලියල තිබුණු කතාවක් ඉවර කරලා දාන්න හිතුවා.. මගේ ජීවිතේ අමතක නොවන , රසවත් සිදුවීමක් වුනත් මේ කතාව ලියන්න ඇත්තටම මං බයයි. මොකෝ මං ලියන විදියේ අඩු පාඩුවක් වුණොත් මේ කතාවේ රස නැතිවෙයි කියල බයයි අනේ.. ඒත් අපේ සෙට් එකම මේ කතාව ලියන්න කිව්ව නිසා ලියනවා ඕන්....
        ඔන්න දැන්ම කිව්වා මේ පොස්ට් පොස්ට් එක දිග වැඩි කියලා තේරෙයි.. ගණන් ගන්න එපා ඒ ෆොටෝස් තියෙන නිසා.. :P :P
_______________________________________________

            මං කලින් කිව්වනේ අපේ ක්ලාස් එකේ සෙට් එක ගැන. බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලලා එන්නකෝ.. 
           ඔන්න ඉතින් අපේ ඉන්ෆොටෙක් ඉන්ස්ටිට්යුට් එකේ  අපේ බැච් එක වෙනකන් (මේ සැප්තැම්බර් වෙනකන්) බ්‍රාන්චස් තිබුණා පහක්. නුවර , කොළඹ , ගම්පහ , කුරුණෑගල , කෑගල්ල (දැන් ගාල්ලෙත් තියෙනවා).. මේ බ්‍රාන්චස් පහ අතරේ වාර්ෂිකව පවත්වනවා ලොකු  ක්‍රිකට් තරඟයක්. ISS කියලා.(Infortec Super Sixes) ඔය ඉවෙන්ට් එකට ඉන්ස්ටිට්යුට් එකේ ලොකු තැනක් හම්බවෙනවා. ඉතින් ඒ නිසා අපිට ක්ලාස් පටන් ගත්ත කාලේ ඉඳන් අපි හිටියේ ISS පටන් ගන්නකන් ආසාවෙන්.

           අපිට ඔන්න මැච් එක ගැන පණිවිඩේ ආවා මේ ජනවාරි වල විතර. මැයි වල තමයි මැච් එක තියෙන්නේ. මේ අවුරුද්දේ ලොකුවටම සංවිධානය කරපු නිසා මැච් එකට දවස් දෙකක් යොදාගෙන තිබුණා.  ඉතින් ඔන්න එක බ්‍රාන්ච් එකකින්  ටීම්ස් දෙක ගානේ ඉදිරිපත් වෙන්න කියලත් කියලා තිබුණා අපිට. (අපිට කිව්වට ඉතින් ටීම්ස් වල ඉන්නේ කොල්ලෝ. ගෑනු ළමයි යන්නේ මැච් එක බලන්න විතරයි. ලොල්.. :p).... ඉතින් ඔන්න නුවරින් ටීම්ස් දෙකක් හදාගෙන ප්‍රැක්ටිස් පටන් ගත්ත පෙබරවාරි වල ඉඳල..( ප්‍රැක්ටිස්  හා සම්බන්ධ කතා වෙනත් පොස්ටුවකින් හොඳේ .. :) )

             ටීම් A සහ B... මං කලින් පොස්ට් එකේ කිව්ව මගේ සහෝදරයෝ ටික දෙනෙකුත් හිටිය මේ ටීම්ස් දෙකේ. නෙරා අයියා , මධුවා , චින්ති අයියා , නීලේ , කාංචි සහ 'X' (මේ X ගැන මං කලින් පොස්ට් එකෙත් කිව්වා. ඒත් මේ පොස්ට් එකේ මෙයාගේ ඇත්ත නම හෙළි කිරීම මට තහනම්... ඇයි කියල පස්සේ තේරෙයි). මේ X තමයි A ටීම් එකේ කැප්ටන් හොඳේ. 

            දැන් ඔන්න මැයි මාසේ 7 සහ 8 තිඹිරිගස්යාය පොලිස් ග්‍රවුන්ඩ් එකේ තමයි මැච් එක තියෙන්නේ. දැන් ඉතින් මැච් එක බලන්නත් යන්න එපැයි කස්ටිය. ඒත් දවස් දෙකක් කිව්වම අපේ නුවර ක්ලාස් එකෙන් 100ක් විතර එක්කගෙන ගිහින් කොහේ ඉන්නද??? අනික දන්නවනේ ගෙවල් වලින් එහෙම ලේසියෙන් යවන්නෙත් නෑනේ. ඒ වුණාට ඉතින් අපේ ටීම්ස් දෙකෙන් එකක් ෆයිනල්ස් එනවා කියල අපිට බුදු ෂුවර්. ෆයිනල්ස් තියෙන්නේ 8 වෙනිදා නිසා 8 වෙනිදා කස්ටියව එක්කගෙන යමු කියල කතා වුණා .ඒ නිසා ඔන්න සර්ලා , මිස්ලා එක්ක කතාකරලා බස් එකක් කතා කරගත්ත. (ඒ ගැනත් වෙනම පොස්ට් එකක් දැමීමට තරම් කරුණු ඇත.. :P)

            දැන් ඉතින් මැච් බලන්න ඉන්න උන් 8 වෙනිදා ගියාට ටීම්ස් දෙක කලින් යන්න එපැයි. ටීම්ස් දෙකේ කස්ටිය 20යි. නවතින්න තැනක් X හොයාගත්තා , හොරණ පාරෙන්, දැන් ඉන්න තැනත් හරි. කස්ටිය යන්නේ මැයි 6 වෙනි සිකුරාදා.

            දැන් ඔන්න ISS ලංවෙන්න ලංවෙන්න මටත් හැදීගෙන එනවා එක්තරා ආකාරයක 'උණක්'.... උණ තමයි ටීම්ස් දෙකත් එක්ක 6 වෙනිදා කොළඹ යන්න... :O P දැන් ඉතින් ඕක හිතන තරම් ලේසි නෑනේ.. කොල්ලෝ 20 ක් එක්ක කෙල්ලෙක්ව තනියම යවනවද ගෙදර අය? ඒ මදිවට දවස් 3කට?? මිස්ලා නුවරින් යන්නේ 7 වෙනිදා උදේ.. ඒ උණාට අයිස්ට 6 වෙනිදාම යන්න ඕනේ. ඒත් ඉතින් මගේ වාසනාවට ඔය උණ හැදුනේ මට විතරක් නෙමෙයි.  අපේ සුදු අක්කි හෙවත් සිතාරා අක්කිටත් ඔය ලෙඩේ බෝවුනා.

           අපේ අම්මි, අප්පච්චි මාරම හොඳයි. පොඩි දවස් වල හිටන්ම මට සෑහෙන නිදහසක් දීල තිබුණා. අයිස් කවදාවත් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන නොගත් නිසාත් , ඕනේ මගුලක් ගෙදරට කියලා කරන නිසාත් , කොල්ලෝ සෙට් එකම 100%ක් අපේ ගෙදරට ෂුවර් නිසාත්, මිස් අප්පච්චිට කතා කරලා මං ගැන හොඳ රෙකමෙන්ඩ් එකක් දුන්න නිසාත් යන්තම් කන්කෙඳිරි ගාල යන්න අවසරේ ලබාගත්තා. අම්මේ.... මට දැනුණු සතුටක්. සිතාර අක්කිටත් යන්න අවසරේ ලැබුණා. (අපේ පූ නැති පාළුව නම් සෑහෙන්න දැනුන එදා). දැන් ඔන්න හරි අපිත් යනවා කොළඹ. ටීම්ස් දෙකේ 20 දෙනයි, අපේ මාරේයි, රේයි,අක්කියි ,මමයි.
         
          හවස 3.30 ට නුවරින් තිබුණු කෝච්චියේ තමයි යන්නේ අපි. දැන් ඔය දවසේ ක්ලාස් එකට ඇවිත් හැමෝගෙන්ම ආශිර්වාදය අරගෙන දළදා මාළිගාවටත් ගිහින් අපි ආවා railway station එකට.

මේ ඉන්නේ අපිට සුබ පතන්න පාරට ආව කෙනෙක්.. හිකිස්..


මේ ඉන්නේ එදා මං කිව්ව අපේ සෙට් එක....අර Xව අහුවෙන නිසා නම් ටික නොකියා ඉන්නම්කො.. (දන්නෝ දනිති)

            අපේ 24 දෙනාම එක කෝච්චි පෙට්ටියක් අයිතිකර ගත්තා. මේ විදියේ ගමනක ෆන් එක ගැන කස්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දැන් ඔන්න කෝච්චියේ අපි යනවා කියමුකෝ...... සින්දු කියනවා (මටයි, අක්කිටයි කන් වහගන්න කියලා කස්ටිය අමුතු අමුතු සින්දු කෑලි එහෙම කිව්වෙ නෑලු හරිය)  හූ කියනවා, කෑම කනවා මල මගුලයි... ඔන්න දැන් කතාවේ ට්‍රැක් එක පනිනවා මං.. කලින් පොස්ට් එකේ කියන්න බැරි වුණා දෙයක් දැන් මතක් කරලා දෙන්න ඕනේ.. මේ විදියේ ගමනක් යනකොට ඔය සැර බීම ජාති එහෙම කොල්ලොන්ට අමුතු දේවල් නෙමෙයි නේ.. කියන්න සතුටුයි ඒත් අපේ මේ සහෝදරයෝ එදා ඒ කිසිම දෙයක් හොරෙන්වත් පාවිච්චි කරේ නෑ... අර උඩ ෆොටෝ එකේ කස්ටිය නම් කොහොමත් ඒවට නෑ. ඒ නිසා අපිට බයක් තිබුනෙත් නෑ කිසිම... (මගේ සහෝදරයොන්ට : පට්ටම ආඩම්බරයි බොලා ල ගැන අයිස්ට ඕන්). 

            දැන් ආයෙත් කතාවට, දැන් අපි යනවා ඕන් සතුටෙන්... මමයි , අක්කි ජනෙල් වලින් එලියට බෙලි දාගෙන , මාරේයි මදුවයි දොරේ එල්ලිලා. ඔය පාරවල් අයිනේ හිටිය කෙල්ලන්ට එහෙම අපේ කස්ටිය මුකුත් කිව්වෙත් නෑල්ලු ඕන්... :P  පිට්ටනියක සරුංගල් අරිමින් හිටි පොඩි උන් වගයක් එක්ක කියවගත්තෙත් නෑල්ලු ඕන්... :P ඒ අස්සේ අපේ නෙරා අයියා අන්කල් කෙනෙක්ට 'බායි' කියන්න ගිහින් ඒ අන්කල් හොඳවයින් හස්ත සංඥාවක් කරලා පෙන්නුවේ එහෙමත් නෑල්ලු..... :P 

මේ මගෙනුයි , අක්කිගෙනුයි බැනුම් අහ අහා දොරේ එල්ලිලා ගිය වඳුරු පැටවූ දෙන්නා.

අර අපිට කන් වහ ගන්න කියලා කිව්වා සින්දුව.සින්දුවක් කිව්ව වෙලේ .. :P 



මේ බිංගෙයක් අස්සෙන් යනකොට හූ කිව්ව අපේ අක්කි 

         ටිකක් හවස් වෙලා කාරිය අපි ආවයි කියමුකෝ 'අඹේපුස්ස'ට. අඹේපුස්ස කතාවේ සන්දිස්ථානයක්. මං හෙඩිමේ දාල තියෙන්නෙත් එහෙමනේ. අඹේපුස්සට ටිකකට කලින් නෙරා අයියා, මාරේ සහ අර X කියන කස්ටිය කෝච්චියේ බහින දොර  ඉන්නවා මං දැක්කා. මාත් ඉතින් ෆොටෝස් අරන් අරන් හිටි නිසා ගානක් නෑ.. ටික වෙලාවකින් අනිත් උන් සින්දු කියන සද්දේට වඩා සද්දෙන් මෙහෙම කියන ගමන් නෙරා අයියා ආවා..
         "මාර කේස් එක....  මාරේට කෝච්චියට නගින්න බැරි වුණා. "
         අවංකවම එහෙම ඇහුවම මට එක පාරටම ලොකු බයක් ඇතිවුණා. නොදන්නා පැත්තක. රෑ වෙන්න ඉතාම ආසන්නයෙන් එහෙම වුණාම බය දැනෙන එක සාධාරණයි නේ. හැබැයි ඒත් එක්කම ඒ මග ඇරුණේ මාරේ නිසා මගේ බය නැතිවෙලා ගියා. මාරේ කියන්නේ අජාසත්ත ජාතකෙත් රීමික්ස් කල හැකි පොරක් කියලා මං කලින් කිව්ව නේ.. 

          නෙරා අයියා කිව්ව ආරංචිය අපි කවුරුත් මුලින්ම විස්වාස කරේ නෑ. ඒ නිසා නෙරා අයියා සිද්ද වුණ දේ කිව්ව අපිට... වෙලා තියෙන්නේ මේකයි. අපේ X නුවර ඉඳන්ම කියා කියා ආවේ බඩ රිදෙනවා කියලා.  ඉතින්. මේ පොරට ඉතාමත් හදිසි අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා ටොයිලට් එකට යන්න. ඉතින් ඇතුළට ගිහින් බලනකොටලු දන්නේ ටොයිලට් එකේ ටැප් එක කැඩිලා නිසා වතුර නෑ කියලා. අපි බොන්න ගෙනාව වතුරත් ඉවරයි. ඉතින් අඹේපුස්සේ කෝච්චිය නවත්තනකන් හිටපු අපේ මාරයා (මාරේ) ලොකු බෝතලේකුත් අරගෙන කෝච්චියෙන් බැහැලා තියෙනවා වතුර ගේන්න. X ටොයිලට් එක ඇතුලේ හොඳේ. අනේ Xගේ වසනාවක මහත..... මාරේ වතුර පුරවා ගන්න කලින් කෝච්චිය අද්දලා..... 

         "මාරේ දුවගෙන ආව කෝච්චියට නගින්න ඒත් අර @!^$#*^ කඩලකාරයා දොර අයිනේ හිටියනේ ඒ නිසා නගින්න බැරිවුණා".

         "දැන් X කෝ?" කවුදෝ එහෙම අහනකොට තමයි අපිට X ව මතක් වුණේ. 

        "අම්මට හුඩු, ඒකා තාම ටොයිලට් එක අස්සේ" කට්ටියම හයියෙන් හිනා වුණා. ශරීර කෘත්‍ය අහවර කරාට හෝදගන්න වතුර නැතුව X තාමත් ටොයිලට් එකේ. මධුවා, මාරෙට කෝල් එකක් ගත්තම දැනගන්න ලැබුණා ඊළඟට අඹේපුස්ස හරහා කොටුවට එන කෝච්චියක් 6 ට තියෙනවා කියලා. එහෙනම් ඒකෙ වරෙන් කියලා අපි හිත හදාගත්තා. 

         ඔය අස්සේ අපිත් එක්ක ගිය උදයන්ත අයියගේ බෑග් එකෙ තිබුණු ලොකු වතුර බෝතලයක් නෙරා අයියා Xට ගිහින් දුන්නා හෝදගන්න කියලා. දැන් හෝදගෙන ඉවරවෙලා පොර එලියට එන්න ලැජ්ජාවේ ඉන්නවා. ඇයි යකෝ අර විදියේ ලැජ්ජාවක් වෙලා හිත හදාගෙන කස්ටිය අතරට එන්නේ කොහොමද රෙද්දක් ඇඳගෙන???  ඔන්න අපි බලාගෙන ඉන්න ටිකට ටොයිලට් එක ඇතුලේ ඉඳල X ෆේස්බුක් ස්ටේටස් එකක් අප්ලෝඩ් කරා මෙහෙම කියලා, 
'        Yako balagena giyama mekath maru pot ekane.. :P '
      
       ඕක දැකල කස්ටියම බඩ අල්ලන් හිනා වුණා... අපි බලාගෙන හිටියට මූ එන පාටක් නෑ. අපි X එනකන් බලාගෙන හිටිය විදිය දැනගන්න කැමතිද? පහල තියෙන ෆොටෝ එක බලන්නකෝ... :P


           ඔන්න කොහොමින් කොහොමහරි අපි හිනා වෙන්නේ නෑ කියලා දැනුම් දුන්නට පස්සේ X යන්තම් එළියට ආවා.. නිකන් නෙමෙයි කස්ටියගේ අත්පුඩි සද්දේ ,හූ සද්දේ අස්සෙන්. පව් නේද අපේ X?? හිකිස්.. ඒ වෙලාවේ මං ෆේස්බුක් එකට අප්ලෝඩ් කරපු ස්ටේටස් එක තමයි මේ පොස්ට් එකෙ හෙඩිම..ඕක දැකලා X මාව මරාගෙන කෑවේ නැති එක විතරයි.. :P
      "Ambepussa= The missing + The bad smell... :P :P"

          අපි ඉතින් කොටුවට ඇවිත් ඊළඟට මාරේ එනකන් පැය දෙකක් විතර කොටුවේ හිටියා. ඒ අස්සේ එදා ස්ටේෂන් එකෙ කස්ටියට අපේ උන් වීදි නාට්‍යකුත් පෙන්නුවා. :P :P ඔය පහල තියෙන්නේ ඒ ෆොටෝස්..


     ඒ ඉවර වෙලා පහුවෙනිදට තියෙන මැච් එකෙ පෙරේ පුහුන්වීම් කරන්නත් පටන් ගත්තා.


     ඒ අස්සේ අපේ නීලේ කොටුවට එන එන කෝච්චිවල මාරේව හොයන්න පටන් ගත්තා. 

       පැය දෙකකින් විතර මාරේ ආවා.... 
 මේ පාරේව පිළිගන්න රේ නටාගෙන ගිය වෙලාව.

මාරේ හමුවීමේ ප්‍රීතිය නිමිත්තෙන්.... ඔය මැද තියෙන්නේ වගකිවයුතු බෝතලේ... :P :P

     ඔය හැම ජල්තරයක්ම ඉවර වෙලා අපි නවතින ගෙදරට ගියා. ඒ ගමනේත් පිස්සු ගොඩායි...  මගේ ජීවිතේ දැනුත් මතක් වුණාම තනියම හිනා යන ලස්සන මතක සැමරුමක් වුණා මේ සිදුවීම් පෙළ..
 අඹේපුස්ස=The missing + The bad smell

ප/ලි :කාටහරි කතාව බෝරින්ග් වුණා නම් සොරි වෙන්න ඕනේ.... කාටහරි මේ X කවුද කියලා දැනගන්න ඕනේ නම් කලින් පොස්ට් එකයි, ෆොටෝ ටිකයි බලන්නකෝ... එය ඉන්නවා මේ ෆොටෝස් වල.. (මං එහෙම කිව්ව කියලා එයට කියන්න එපා හොඳේ..:P )

ප/ප/ලි : ආයෙත් කතාව කියවල බැලුවම ඒ මොහොතේ සජීවීව වින්ද රසය නෑ කියලා මට හිතෙනවා. අනේ ඒකට සොරි වෙයල්ලා...


Tuesday, December 13

~මහිම මන්දහාසි~ 15වන කොටස

       මහිම ටෙක්ස්ට් කරපු දේවල් අකුරක් නෑරම සඳුත් එක්ක කියවලා අන්තිමේදී කෝල් කරපු කතාව ගැනත් කියන්න මට සිද්ධ වුණා. කිසිම ගින්නක් නැතිව ඒ ටික ඉවරයක් කරගන්න මට පුළුවන් වුණ එක ගැන නම් ලොකු පුදුමයක් තිබුණා සඳුට. ඒ වගේම ලොකු ආඩම්බරෙකුත්. ඇයි යකෝ උන්ගේ ප්ලෑන් එකේ හැටියටනේ  මං වැඩ. තව පැයක් යන්න කලින් මේ ආරංචිය ලැව් ගින්නක් වගේ සෙට් එක අතරේ පැතිරෙන විත්තියත් මං නොදැන හිටිය නෙමෙයි. ඒවටත් උත්තර මං සතුව තිබුණා.

       සඳු කතා කරලා ඉවර වුනාම මුණ හෝදගෙන තේකත් බීල තමයි මං අයෙත් කාමරේට ආවේ. මහිමගෙන් මොර්නින්ග් විශ් එකක්..

'Morning greetings doesn't only mean saying GOOD MORNING!
It has silent msg saying : I remember yu when I wake up...
Good Morning Mandahaasi...!!'

       අනේ අම්මේ.. නිකන් කණට ගැහුවා වගේ වුණා මැසේජ් එක දැක්කම. මං එයාට උදේම මැසේජ් එකක් යැව්වේ නැති එකට හින්ට් එකක්වත්ද? ඔන්න ඔහේ ඕනේ මගුලක්...

      'Wow... nice 2 hear.. Good Morning Mahima!!'

       ඔය විදියට පටන් ගත්ත එදා දවසේ මැසේජ් කිරිල්ලට උදේ 10 ඉඳන් හවස 4 විතර වෙනකන් පොඩි විරාමයක් හම්බවුණා. මහිම නම් හේතුව විදියට කිව්වේ අම්මත් එක්ක ටවුන් යනවා කියලා. ඒත් ඇත්තම හේතුව මහිම  මන්දහාසිට නොකිව්වට විශ්මි නම් දන්නවා. හේතුව තමයි මහිමට ස්පෝර්ට්ස් මීට් එකේ වැඩ වලට යන්න වෙන එක... තෝමස් එකේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හෙවත් මගේ එකම සහෝදරයට වැදගත් වැඩක් අතරතුරේ ෆෝන් එක පාවිච්චි කරනවා දැක්කම ඌරු ජුවල් වගේ තමයි. අයියකාරයගෙම වචනවලින් කිව්වොත් 'මේ ඔෆීෂියල් වැඩ අස්සේ ඔය මගුල් ෆෝන් එකෙන් කොටන්න ගත්තම මේ වැඩ කරන්නේ මොකාද??' අනේ උන්දැයි මමයි නොදන්න 'ඔෆීෂියල්'..

       මහිම මන්දහාසිට ඇත්තම නොකිව්ව එක ගැන නම් අවංකවම මගේ හිතේ ඇති වුනේ සතුටක්. මට කලින්ම මහිම ගැන හැම තොරතුරක්ම ලැබුණා නිසා මහිමගේ ඇත්ත විස්තරයි , මන්දහාසිට කියන දේවලුයි සංසන්දනේ කරලා බලන්න මට තවත් පහසු වුණා. මහිම ගැන හැමෝම දන්න විස්තර ටික ඇරුණම පෞද්ගලික ජීවිතේ ගැන මහිම මන්දහාසිට හැමදෙයක්ම කිව්වේ බාගෙට.. ඒ මදිවට පට්ට පල් බොරු.. මන්දහාසි කිව්වේ ඊට හපන් ගල් පැළෙන බොරු. අන්තිමේදී කාට කාටත් මදි නොකියන්න පව් පිරෙනවා තමයි , ඒත් ඉතින් පටන් ගත්ත එක අහවර කරලා ඉන්නත් එපැයි. 

*****

       ඔය හැමදෙයක් ම අතරේ අලුත් අවුරුද්දක් දොරකඩටම ඇවිත් තිබුණා.. මගේ හිතේ මහිම ගැන ඇතිවුණු හැගීම අවංක ආදරයක් බවට පත් වෙමින් අලුත් බලාපොරොත්තු දළුලාගෙන ඒ ලස්සන අවුරුද්ද උදාවුණා. මහිමව දකින දකින වාරයක් පාසා අමුතුම නොසන්සුන්තාවයකින් මුළු හිතම පිරුණත් ඒ තරු ඇස් මග ඇරලා ඉන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. අලුත් අවුරුද්දට අප්පච්චිගෙන් තෑගි ලැබුණු අලුත්ම දින පොතේ පළවෙනිම පිටුව ඉඳුල් වුණේ මේ පුංචි සටහනෙන්..

ආදරේ... මහා පුදුම හැගීමක්.
කවදාවත් නොහිතන , නොපතන මොහොතක 
අහම්බෙන්ම හිතට රිංගලා ජීවිතේම වෙනස් කරන ලස්සන....
ඔව්...
මං ආදරෙයි ඔය ලස්සන ඇස් වලට....
ඔය ලස්සන හදවතට....
උණුසුම් හිනාවට ......

     මහිම ගැන ඇතිවුණු ලෙන්ගතු හැගීම පළවෙනි වතාවට අකුරු වලට පෙරලුනේ ඒ විදියට.. 
      
        'ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
         ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
        ප්‍රේමය හැඳින්නේමී......'

    මං ආසම සින්දුවක පද පේලි කීපයකින් අවසන් වුණු ඒ පළවෙනි සටහන වටේට කැටයමක් දාන්නත් මං අමතක කරේ නෑ.. හයිලයිටර් එකකින් වැඩ දාලා හාර්ට් ස්ටිකර්ස් අලවලා පිස්සුවක් නටලම තමයි මගේ වැඩ කොටස ඉවරවුනේ.


*****

       මහිම අහනකොට ඉස්කෝලේ විදියට ඇත්තම ඉස්කෝලේ නම කියන්න කියලා අදාළ පාර්ශව වලින් මන්දහාසිට උපදෙස් ලැබුණා. ඉතින් මං මන්දහාසි වෙලා ඒ රාජකාරියත් අකුරටම ඉෂ්ට කරා. අලුත් වාරේ ඉස්කෝලේ පටන් ගත්තට ඉතින් අපි රිසාල්ට්ස් එනකන් ගෙවල් වල නේ..

     'Breaking News: Anna mahima iskole peerala Mandahaasiwa hoyanawalu... :P :P'
    
       දිනාදිගෙන් ආව මැසේජ් එක දැකලා මට හිනාත් ගියා. ඒ කියන්නේ මහිම මන්දහාසි ගැන උනන්දුයි කියන එකනේ. මං ඉගෙන ගන්නේ යශෝධරා බාලිකාවේ. දැන් මහිම අපේ බැච් එකේ මන්දහාසි කෙනෙක්ව හොයනවා ඇති. කොච්චර හෙව්වත් එයා මාව නම් හොයනවා බොරු.. දිනාදී කිව්ව කතාවේ ඇත්ත නැත්ත ඔප්පු වෙන වැඩක් තමයි ඊළඟට වුණේ. මං fb ලොග් වෙනකොට මහිමගෙන් මැසේජ් එකක් තිබුණා.

     'Vish, i wanna big help yar.... help meeeeeeeee... :D :)' උදව්ව මොකද්ද කියලා කලින්ම දන්න නිසා මං මහිමව ඕන් ලයින් ඇඩ් කරගත්තා..
    
     ' I'm here... yeah tell mee.. :)' 

    'Ane oyalage schl eke oyalage batch eke Mandahaasi kiyala kenek innawada kiyannako?? Plzz.... :( ' මට ඇත්තටම පව් කියලත් හිතුණා. ඒත් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහන එකත් මීට වඩා ලේසි වෙයි.
   

     'Hmmmmm.... Mandahaasi?? Man danna widiyata nam naa... man heta hoyala kiyannada? Mokak hari prashnayakda??' ආයේ ඉතින් හොයන්න දෙයක් නෑ. ඔය මේ චැට් කරන්නේ මන්දහාසි එක්ක තමයි. දෙසා බෑව ටොම් පචේ නිසා එතනම පොලොව පලාගෙන යයි කියලත් හිතුණා. 

     'Ane naa... :) Puluwan nam kiyannako.. Thnx a lot.. :) :) ' 

     තවත් රටේ නැති දේවල් ටිකක් ගැනයි එයාලගේ ස්පෝර්ට්ස් මීට් ගැනයි මං මහිමත් එක්ක චැට් කරා. ඒත්.................  ඒ වෙලාවේම මන්දහාසි මහිමගේ මොබයිල් එකට මැසේජ් කරා කියලත් අමතක කරන්න එපා.

___________________________________

    එක ඉරිදා දවසක උදේ පාන්දරම නිදිමරගාතේ මට මෙන්න මේ විදියේ දෙබසක් ඇහෙනවා.

'කොහෙද පුතා ක්ලාස් එක?'

'...................'

'මං දන්න විදියට නම් එතන ගොඩක් හොඳයි. සෑහෙන ළමයි ගොඩක් ඉගෙනත් ගන්නවා'

'ඔව් අන්කල් හැමෝම කියනවා. මාත් යන්න තමයි හිතාගෙන ඉන්නේ.'

'අපේ ගෙදරටත් ලියුමක් ආව මං හිතන්නේ. මෙයාලගේ අම්මගේ හුරතලේනේ. ගෙදර ඉඳල මොනවා කරන්නද නේද?'

'ඒකනේ අන්කල්' එහෙම කියපු අමුත්තා හිනාත් වෙනවා ඇහුණා. යන්තම් හත වුණා විතරයි. කවුද යකෝ මේ උදේ පාන්දර අපේ අප්පච්චිත් එක්ක බරසාර සාකච්චාවක නිරත වෙන උත්තමයා? මං එහෙම කල්පනා කරන ගමන්ම ඇඳෙන් වාඩි වුණා. එයාල කතා කරන්නේ මොනවා ගැනද කියලා නම් හාන්කවිසියක් හිතාගන්න මට බැරි වුණා... 

      'ආ...නැගිට්ටද?' එහෙම අහගෙනම හිනා මූණත් අරගෙන අම්මි කාමරේට ආව. මේ හිනාව උදේ පාන්දරම දැක්ක කියන්නේ ඉතින් දවසම පිරුන කියන එකනෙ. 

     'කවුද අම්මි ඇවිත් ඉන්නේ මේ උදේ පාන්දර?' ඇඳෙන් වාඩි වුණ අම්මිගේ ඔඩොක්කුවේ ඔලුව තියාගන්න ගමන් මං ඇහුවා. එතකොට අම්මි මගේ ඔලුව අත ගාන විදියට පුංචි කාලේ ඉඳන්ම මං හරි ලෝබයි.

     'අනේ අර මහිම පුතා' මොනවා මහිම??? අම්මිගේ ඔඩොක්කුවේ තිබුණ ඔලුව මටත් නොදැනිම එක පාරටම ඉස්සුනත් ආයෙත් හිමිට ඔලුව තියාගත්තේ අම්මිට වෙනසක් දැනුනොත් කියලා බයේ.

     'මහිම? මෙච්චර උදෙන්?' මං වෙනසක් නොපෙන්නාම ඇහුවා. 

     'මොන උදයක්ද? දැන් හතයි වෙලාව. බලන්න පුතේ කොල්ලෙක් වෙලත් ඒ පුතා මෙච්චර උදෙන්ම නැගිටලා. ඔයා තාම නිදි. ගෑනු ළමයෙක් නේද?'. හ්ම්..... 'පුතා' අපේ අම්මිට කාව හරි හිතට ඇල්ලුවොත් එහෙම තමයි කතා කරන්නේ. ඒ කියන්නේ අම්මිට මහිමව හිතට අල්ලලා.

    'අප්පච්චිටත් ඒ දරුවාව හිතට අල්ලලාද කොහෙද. ආව වෙලේ ඉඳන් කතාව' ආ.... ඒ පාර මාමන්ඩිගේත් හිතට අල්ලලාලු. එහෙම හිතෙනකොට මූණට ආව හොර හිනාව අම්මිට පේන්න නොදී හංගන්න මට සෑහෙන පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා.

    'මේ, තේ ඕනේ නම් කුස්සියට ඇවිත් බොන්න. මං මීට පස්සේ කාමරේට ගේන්නේ නෑ' එහෙම කියාගෙන අම්මි නැගිටලා එළියට ගියා. අනේ ඔය බලහලකෝ ඉතින්.... මහිම මේ උදේ පාන්දර ඇවිත් අම්මිගෙයි , අප්පච්චිගෙයි හිත හොරකම් කරලා මදිවට මගේ වරප්‍රසාදත් කප්පාදු කරලනේ. ශි... එපා වෙනවා. නෑ නෑ මහිමව නෙමෙයි. ජීවිතේ...

    අම්මි ගියාට පස්සෙත් මට සාලෙන් මහිමගෙයි ,අප්පච්චිගෙයි කතාව ඇහුණා. ඒත් ටීවි එකේ සද්දේ නිසා එයාලගේ කතාව ඇහුනේ බාගෙට. ෆෝන් එක අරගෙන බලනකොට මහිම මිස් කෝල් එකක් තියල තියෙනවා පාන්දර 5ට. ඒ කියන්නේ එයා එච්චර උදෙන් නැගිටලා. කොල්ලෙක් විදියට මහිමට මේ දේවල් කරන්න පුළුවන් නම් ඇයි කෙල්ලෙක් විදියට මට බැරි???  මං මගෙන්ම ප්‍රශ්න කරගත්තා. මං හොයාගත්ත දේවල් වල හැටියට මහිම කොච්චර දඟ වුණත් හරිම පිළිවෙලට වැඩ කරන කෙනෙක්. ඉස්කෝලේ වගේම පෞද්ගලික ජීවිතේදීත්. 'මහිම හෙන නීට් කොල්ලෙක් විශ්' . දෞපදී කිව්ව විදිය මට දැන් වගේ මතකයි. නැගිටින්න ටිකක් වෙලා ගියාට, අම්මි තේක ගෙනත් දුන්නට, ටිකක් දඟ කරාට, යාලුවොත් එක්ක පිස්සු නැටුවට, තොරතෝංචියක් නැතුව කියෙව්වට මාත් ඉතින් නීට් කෙල්ලෙක් තමයි හරිය. ඒත්................. ඒ දේවල් මදි. මං මහිමට ආදරේ කරනවා නම් , එයාගේ ආදරේ මං බලාපොරොත්තු වෙනවා නම් මාත් එයාගේ විදියට හැඩගැහෙන්න ඕනේ කියලා මං තීරණේ කරා. ඔව්.... දැන් ඉඳන් ඒ වෙනසට ලැස්තිවෙන්න ඕනේ කියලා එක හෙලාම තීරණේ කරලා මං ඇඳෙන් නැගිට්ටා.

    ඒත් ඉතින් මෙහෙම එළියට යන්නයැ. තාම මුණ හෝදලත් නෑනේ. බාත්රූම් එකට යන්න කාමරෙන් එළියට ගියොත් මහිම මාව දකිනවා. උදේ පාන්දර මොන නවනින්ගිරාවක් ද ඒක. ඒත් යන්න කලින් මහිමව බලන්නත් ඕනේ. අම්මිගේ හොඳ දුව වෙන්නත් ඕනේ. හ්ම්.......... මොකද කරන්නේ??  ටිකක් වෙලා කල්පනා කරනකොට මගේ මොලේට හොඳ අදහසක් ආව... ඒත් ඒ මිෂන් එකට අවශ්‍ය වෙන එකම එක උපකරණයක් තියෙනවා. විනාඩි දෙකක් ඇතුලත මගේ කාමරේ පෙට්ටියකින් ඒ උපකරනෙත් හොයාගෙන මං ලෑස්ති වුණා. මේ වැඩේ හරි ගියොත් බඩුම තමයි..


විශ්මි නමැති හොර පූසියගේ මිෂන් එක සාර්ථක වෙයිද? වැඩේ අල පාත්තියක් වෙයිද? ඊළඟ කොටසින් හමුවෙමු >>>>>


Saturday, December 10

මගේ ආදරණීය හිමූට...

              ටික දවසකට පස්සේ පොස්ට් එකක් දාන්න ඕනේ කියලා හිතුන ඕන්... ගොඩක් කාලෙකට කලින් මේ පොස්ට් එක දාන්න හිතාගෙන හිටියට කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරිව හිටි නිසා  ඒ වැඩෙත් දවසින් දවස කල් ගියා.... ඒත් දැන් තමයි ඒකට අවස්ථාව කියලා හිතුණා, එත් දුක හිතෙන කතාවකුත් එක්කම...... :(

            අයිස්ට සහෝදරයෙක් නෑ කියලා ගොඩක් කස්ටිය දන්නවා මයේ හිතේ. මගේ ජීවිතේට සහෝදරයෙක් උරුම නැතුව ඇති. ඒත් දැන් මට මගේම වගේ සහෝදරයෝ ගොඩක් ඉන්නවා කියලා මං කියලා තියෙනවනේ. පුංචි කාලේ ඉඳන්ම මගේ දුකට සැපට හැමදේටම මට හිටියේ මගේ අක්කි විතරයි. එය 'ඉඳුනිල්' අපි දෙන්න අතරේ වයස් පරතරේ අවුරුදුම 7ක්. ඒත් අපි දෙන්න ආශ්‍රේ කරේ හොඳ යාළුවො දෙන්නෙක් වගේ. අක්කි මට ගොඩක් ආදරෙයි. මාත් එයාට ගොඩක් ආදරෙයි. හැබැයි මේ කියන්න යන්නේ අක්කි ගැන නම් නෙමෙයි. 

             අක්කි කසාද බැන්ද 2008 දී. දැන් ඉන්නවා පුතාල දෙන්නෙක්. ඔව් ඔව්.. මං දැන් පුංචි කෙනෙක්. පුංචි කාලේ ඉඳන්ම මං පොඩි උන්ට හරි ආදරෙයි. ඉතින් මගේ අක්කි මාව පුංචි කෙනෙක් කරපු දවසේ මට දැනුනු සතුට නම් මට වචන වලින් විස්තර කරන්න බෑ. ලොකු පුතා 'හිමහංස මිතුදම්'. ඒ පුංචි ප්‍රාණීයාව ඉස්සෙල්ලම දැක්ක මොහොත මට අද වගේ මතකයි. රෝසම රෝස පාටයි. එයාව ඉස් ඉස්සෙල්ලම වඩාගත්තෙත් එයාගේ පුංචි. අපේ පවුලේ ඉන්නේ කෙල්ලෝම රොත්තක්. ඒ නිසා අපෙ මේ හතර වෙනි පරම්පරාවේ පළවෙනි පුරුක වුනු පුංචි එකාට හැමෝගෙම ආදරේ නොඅඩුව ලැබුනා. එයා ඉස්සෙල්ලම හිනා වුණ හැටි , පෙරලුනු හැටි ,ඉඳ ගත්ත හැටි , එයා තිබ්බ මුල්ම පියවර මට අද වගේ මතකයි. කාර්යබහුල වෙලා තිබුණු අපේ ජීවිතවලට මගේ ආදරණීය 'හිමූ' ගෙනාවේ ලොකු අස්වැසිල්ලක්. දවසින් දවස එයා වෙනුවෙන් අපි හැමෝම බලාපොරොත්තු පොදි ගැහුවා. මගේ අප්පච්චිට - හිමූගේ අත්තාට හිමූ ඇරුණම වෙන ලෝකයක් නැති තරම්. 


              ගෙදර විතරක් නෙමෙයි පවුලේම හුරතලා වුණු මේ පුංචි කොල්ලට දැන් වයස අවුරුදු දෙකයි මාස නවයයි. හැබැයි ඉතින් ඒ ඔක්කොම පැත්තකින් තිබ්බම මේක මහා දඟ මල්ලක්. මගේ ඇඟේ ලේ කෝපකරවන මහ නසරානියෙක්. වෙලාවකට කරන වැඩ වලට මගේ අතින් ඕනේ තරම් ගුටි කාල ඇති. බැනුම් අහලත් ඇති. ඒත් ඒ දේවල් වලින් එයා ගැන තවත් ආදරයක් මිසක් කවදාවත් වෛරයක් නම් ඇති වෙලා නෑ මගේ හිතේ. ඇත්තම කිව්වොත් ඉතින් මගේ හිතේ කොනක මෙයා ගැන පුංචිම පුංචි ඉරිසියාවකුත් නැතුවම නෙමෙයි. මොකෝ ඉතින් මෙයා එන්න කලින් ගෙදර හැමෝගෙම ආදරේ , සැලකිලි ලැබුව පුංචිම සාමාජිකයා මම නේ. මට ලැබෙන්න ඕනේ සැලකිලි ඔක්කොම මේ දඟ කොල්ල හොරකම් කරලා දැන්. වෙලාවකට මාත් එක්ක රණ්ඩු කරනවා එයාගේ අත්තාවයි , අත්තම්මවයි බෙදා ගන්න. එතකොට අපේ අම්මි නම් මට කියන්නේ මෙහෙමයි 'එයාට තම අවුරුදු දෙකයි, ඔයාට දැන් විස්සයි පුතේ. අවුරුදු දහ අටක පරතරේ වෙලත් ඇයි ඔය පොඩි එකත් එක්ක රණ්ඩු වෙන්නේ? නිකන් ඉන්නකෝ' අම්මි එහෙම කිව්වත් ඇත්තටම එහෙම රණ්ඩු වෙලා හිමූව පොඩ්ඩක් අවුස්සලා ගුටියක් කන්න මං මාරම අසයි. කොහොම හරි දැන් ඔන්න හිමූටත් මල්ලි කෙනෙක් ඉන්නවා. 'හසදුන් තරුපියුම්' තම මාස 6යි. එයා ඉතින් කවදාහරි අයියටත් වඩා දඟ වෙන ලකුණු දැන්ම පේන්න තියෙනවා.  

             මං ගිය සතියේ කිව්වනේ මට හොඳටම උන හැදිලා හිටිය කියලා. ඒ දවස් ටිකේම ගෙදර හැමෝටම උන හැදුණා. පොඩි උන් දෙන්නටත් එක්කම. අපේ චුටි තරූට නම් ඉක්මනට හොඳවුනා. හිමූට බෙහෙත් පොවන්න අපි පුදුම මහන්සියක් ගත්තේ. ඒත් වැඩක් වුනේ නෑ. එයාට දවස් 4ක් උන තිබුණා. ඉතින් ගිය බ්‍රහස්පතින්දා එයාගේ බ්ලඩ් ටෙස්ට් එකක් කරාම රුධිර පට්ටිකා ප්‍රමාණය නියමිත ප්‍රමාණෙට  වඩා ගොඩක් අඩුයි කියලා දැන ගන්න ලැබුණා. පුළුවන් තරම් ඉක්මනට පේරාදෙණිය ළමා රෝහලට ඇතුල් කරන්න වෛද්‍ය උපදෙස් ලැබුණ නිසා අපි ඉක්මනින් වුණා. අනේ ගිය ගමන් කොල්ලගේ අත් දෙකම තුවාල කරලා. කැනියුලා ගහන්න. සේලයින් දෙන ගමන් පැය හතරෙන් හතරට ලේ ගන්නවා. චුටි තරූ ඉන්න නිසා අක්කිට ළඟ නවතින්න බෑනේ. අයියා තමයි රෑට ළඟ නැවතිලා හිටියේ. සිකුරාදා දවල් මං ළඟ නැවතුනා.  
           'පුංචා අනේ අපි අපේ ගෙදර යමුකෝ........ අනේ යමුකෝ පුංචි........ මාව වඩා ගන්නකො ඔයා......... අනේ අත්තට එන්න කියන්න..... මාව එක්කන් යන්නකෝ...' මගේ චුටි කොල්ලා වාට්ටුව දෙවනත් වෙන්න කෑගැහුවා. දෙයියනේ මං පිච්චුණ තරමක්. එයා ඉස්සරහ අඬන්න බැරිකමට මං ඉවසගෙන හිටියා. ගෙදර අයට කන්න බොන්නවත් සිහියක් නෑ. කිසිම දෙකට සැලෙන්නේ නැති මගේ අප්පච්චි පවා හැමදාම ඇඩුවා.එයා අපේ ජීවිත වලට කොයි තරම් ලොකු ආලෝකයක් වුනාද කියලා මට ඒ වෙලාවේ හරියටම දැනුණා. ඒත් මං හිටිය දවසේ ටික වෙලාවක් අඬල එයා මාත් එක්ක සෙල්ලම් කර කර හිටියා. ඒ ගැන නම් මට තිබුනේ ලොකු සතුටක්. නර්ස් කෙනෙක් හරි ඩොක්ට කෙනෙක් හරි ලඟට එනකොට හයියෙන් කෑගහනවා.... අම්මි හැමතිස්සෙම බුදු පහන ළඟ වැඳගෙන ඇඩුවා. කන දෙයක් හරියට උගුරෙන් පහලට යන්නේ නෑ. අපි හැමෝම හිටියේ ලොකු දුකකින්. ඒත් ඊයේ උදේ ඉඳන් එයාගේ බ්ලඩ් රිපොර්ට්ස් ඔක්කොම සාමාන්‍ය තත්වෙන් තියෙනවා. අප්පච්චි ඊයේ දවසම එයා ළඟ. මේ ලියන දැනුත් එයා ළඟ. දැන් නම් ඇත්තමට අපිට පුදුම සතුටක් තියෙන්නේ... කියාගන්න බැරි තරම් සතුටක්. මට කෑගහන්න බැරි නිසාම ඒ සතුටට මේ පොස්ට් එක ලියල මගේ සතුට බෙදා ගන්න හිතුවා.. දැන් ටිකකට කලින් අප්පච්චිගේ ෆෝන් එකෙන් මට කෝල් එකක් අරගෙන කියනවා 
          'පුන්ති , පුතාගේ නීපොතු ඇවිලා, අප්පම්මා අතේ නිය කතල් එක එවන්න. පුතාගේ අත උයියා කලලා තිබ්බ කතු දෙකම ගැලෙව්වා නර්ස් ආන්ටි. දොත්ත අන්කල් පුතාගේ නළලේ පොත්තුවක් තිබ්බා. පුතා අත්තා එක්ක ශවුමක් ගියා. අපි ගෙදල එනවා. නත්තල් ගා අදමු අපි දෙන්නා......' කියවගෙන කියවගෙන ගියා. සන්තෝසේ වැඩිකමට ළඟ හිටපු අම්මිටත් කඳුළු ආවා. අද හවසට නැත්තන් හෙට උදේට එයාව ඩිස්චාර්ජ් කරනවා කිව්වලු... 

          ඉතින්...... ආයෙත් මගේ හිමූ ගෙදර එනවා. පොස්ට් එකක් ලිය ලිය ඉද්දි ඇවිත් ලැප් එකේ කීබෝර්ඩ් එකට ගහල දුවන්න, ෆිල්ම් එකක් බලන්න ඉල්ලලා කරදර කරන්න මගේ පුංචි චන්ඩි බන්ඩියා ආයෙත් ගෙදර එනවා. අපි නත්තල් ගහ හදනවා. ඔයාගේ පුන්තී ඔයාට ගොඩක් ආදරෙයි මගේ පුතේ.. ඔයා නැතුව පාලු සොහොන් පිටටනියක් වෙලා තිබුණ ගෙදරට සතුට අරගෙන ඔයා එනකන් අපි ආදරෙන් මග බලාගෙන ඉන්නවා මගේ රත්තරනේ.... ඔයාට දළදා සමිදු පිහිටයි!!


ප/ලි : පුංචි උන්ට ආදරෙන් සලකන, රැකබලා ගන්න පේරාදෙණිය ළමා රෝහලේ වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට හද පිරි ස්තුතිය!!...
*වැඩ ගොඩක් අස්සෙත් හිමූව බලන්න දුවගෙන ආව ,හිමූගේ වචන වලින් කියනවා නම් නෙලා මාමි (නෙරා අයියා), පූ නැන්දි (Pooh), දියබලියා මාමි (මධු) , තුතුලා මාමි (චින්ති අයියා) ,තූති මාමි (චුටි අයියා) ඔයාලට ගොඩක් ස්තුතියි!...
*එන්න බැරි වුනත් හිමූ ගැන ඇහුව පැතුම් මාමි (පැතුම්), රේ මාමි (Ray), තතී පුන්ති (සචී අක්කි) , විමූ නැන්දි (විමූ), ඉසුරු ඇතුළු මගේ යාළුවො ඔක්කොටම , නෑදැයෝ ඔක්කොටම ගොඩා....රියක් ස්තුතියි!!

ප/ප/ලි : මේ සතියෙත් ගිය සතියේ වගේම කස්ටියගේ පෝස්ට්ස් බලන්න එන්න බැරි වුණා මට.  අද හවසට හැමෝගෙම පෝස්ට්ස් බලල කමෙන්ටුවක් දාල යන්න එන්නම්කෝ.හොඳේ.. :) :)

Sunday, December 4

~මහිම මන්දහාසි~ 14වන කොටස

      'Who'z  dis plz?'
  
               අහ්.... දැන් දීපන්කො උත්තර. හ්ම්..... කොහොමද පටන් ගන්නේ... දවස් ගානක් පෙරුම් පුර පුරා හිටපු මොහොත උදා වෙලත් මං දැන් ලොප් වෙලා. අපේ එකෙක්ට කෝල් කරලා උපදෙසක් ගන්න විදියක් ගැන හිතනකොටම මගෙන් උත්තරයක් නැති නිසාම ද කොහෙද මහිම රින්ග් එකකුත් තිබ්බා. කමක් නෑ... ඔන්න ඔහේ කමක් නෑ. ආවොත් ආවා, ගියොත් ගියා කියල හිතලා මාත් රිප්ලයි කරා. 


     'Hi Mahima. Am Mandahaasi... :D '.ඔන්න එහෙනම් මන්දහාසි කුලුඳුල් මැසේජ් එකත් යැව්වා. ෂා.... ඒත් ඒ ගැන ආඩම්බර වෙන්න කලින්ම අනිත් මැසේජ් එක ආවා.


    'Hmm... Mandahaasi? Do i knw yu?'


            Yes of course කියන්න බෑනේ ඉතින්. මහිම දන්නේ විශ්මිව මිසක් මන්දහාසිව නෙමෙයි නේ. ඒ නිසා ප්ලෑන් එකේ හැටියට තමයි වැඩ.


    'Nah... yu dn't knw me... Bt i knw ya'


    'Ohh... rlly? Bt hw?'


            ඔය තියෙන්නේ... දැන් නම් ටිකක් විතර මගේ බොරු බය අඩු වෙලා. ඒත්.. මහිම මෙච්චර ඉක්මනට ලණුව ගිල්ලා කියල නම් මට විශ්වාස කරන්නත් අමාරුයි.


     'Ooopz... it'z a secret... ;) '
        
            බොරු ෂෝ එක දාන්න කෙල්ලෝ නිතරම කියන වචනෙකුත් දාලම මං රිප්ලයි කරා. අපේ කස්ටිය නම් කියන්නේ හැට හතරක් ම තියෙන එකේ ඒවගෙන් එකක්,දෙකක්වත් පාවිච්චි කරලා බැලුවට අවුලක් නෑ කියල. ඉතින් මාත් ඒ තියරි එකම අනුගමනය කරා. ඒත්... මේ ටිකට හැරෙන තැපෑලෙන් රිප්ලයි කරපු මහිමගෙන් ඒ මැසේජ් එකට රිප්ලයි නෑ. මං විනාඩි පහක් විතර හිටියා. දැන් නම් එක මැසේජ් එකට මැසේජ් 100 ක් එවන්න වෙලා නිසා මං රින්ග් කරලත් බැලුවා. ඒත් නෑ... දැන් මොකෝ කරන්නේ. මට සබ්බුව දෙන්න පිටු 4,5ක මැසේජ් එකක්වත් ටයිප් කරනවද? ඒ වෙලාවෙනම් අවංකවම මගේ හිතේ ලොකු බයක් ඇතිවුනා.. මගේ අතින් වරද්දක්වත් උනාද? මං කෝකටත් කියලා මං යැව්ව මැසේජ් ටික තව පාරක් බැලුවා. ඒත් අප්සෙට් වෙන විදියක කිසිම දෙයක් තිබුනේ නෑ. නිකමට හරි මහිමට සැක හිතුණා නම්?? මොකකින් මොකක් වෙයිද?..


     'Ane me #@(!~^@&#.. Nikan pala yako yanna. Cheeththa kaallak wage msg karama man andeyi kiyala hithuwada? Ewa hande yako. Kiyapiya kawuda me?'

             මොකක්?..... මං අයෙත් පාරක් ඒ මැසේජ් එක බැලුවා. හුටා.... මහිම හිතලා තියෙන්නේ යාලුවෙක් ගෑනු ළමයෙක් විදියට එයාට මැසේජ් කරනවා කියලද? මදැයි මං අහගත්ත ටික. ශික්.... දැන් මොකද කරන්නේ? ලැජ්ජාවේ බෑ. ඒත් මෙතනින් මේක නවත්තලා බෑනේ.

     'OMG!.... Wht???? :O'

     'Hari hari dan athi umbage komale. oya redda nawaththapan. Dan kiyapan machan kawuda me?? :P ' අය්යෝ.... මහිමට මාව විහිළුවක් වෙලාද?

     'Hey ,i told ya... Man Mandahaasi. i'm a girl..  :\ '

     'OOOoooo... R yu SURE? :P lol @ yu man' අප්පේ... මේ බලහල්ලකෝ අහපු කතාවේ කැත විතරක්. වෙන කවුරුහරි ඔහොම ඇහුව නම් 'ඇයි ඔයාට සැකද?' කියලා අහන්න මං කොයි වෙලාවෙත් පසුබට වෙන්නේ නෑ. ඒත්.. මට මේ වෙලාවේ මහිමගෙන් එහෙම අහන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ.

      'yeah am 100% sure.. ' කල්පනා කරලා එහෙම උත්තරයක් දුන්නා.

      'Sooo......' 

     'So.. wht?' ඒ පාර මෙය මොකාටද එන්න හදන්නේ?

     'So.. then call me.  :-c'
              ආහ්.... ඔය තියෙන්නේ. කාලා වරෙන්කො දැන් ඉතින්.. මොකද කරන්නේ? දැන් වෙලාව රෑ 11ත් පහුවෙලා. අම්මිලාගේ කාමරේ තියෙන්නේ මගේ කාමරේට එහා පැත්තේ නිසා කෝල් කරොත් ඇහෙන්නත් බැරිකමක් නෑ. මේ වෙලාවට කෝල් කරලා පුරුදුත් නෑ. ඒත් කෝල් නොකරත් බෑ. මහිම කටහඬ අඳුරගත්තොත් එතනත් මල ජංජාලයයි. මේ වෙලාවට තමයි යාළුවොන්ගේ අගේ තේරෙන්නේ. ඒත්.... මහිමගේ සැකේ දුරුකරන්න නම් කෝල් කරන්න ඕනේ මේ වෙලාවේම තමයි කියලා ටිකක්වෙලා කල්පනා කරනකොට මගේ ටිකිරි මොලේට තේරුණා.

      'Mandahaasi? R u there? :P'

              ඒ කල්පනා කරන ටිකට මහිම නක්කලේ දාල මැසේජ් එකකුත් එව්වා. ඒ මැසේජ් එකට රිප්ලයි නොකර මං කෙලින්ම කෝල් එකක්ම ගත්තා. එහා පැත්තෙන් රින්ග්ස් යනවා. 

                  It'z amazing how you can speak right to my heart..
                  Without saying a word you ca...
        
             මගේ රසවින්දයට බාධා කරන්න මහිම ෆෝන් එක ආන්සර් කරා. දැන් තමයි හුස්ම හිරවෙන හරිය. ආන්සර් කරාට මොකද මහිම කතා කරන්නේ නැතුව අහගෙන හිටියා. මං පණ්ඩිතයා වගේ කෝල් කරාට මොකද බයගුල්ලි වගේ ගොළුවෙලා හිටියා. මං හුස්ම ගත්තෙත් හරිම හිමින්. ඒත් මහිම හුස්මගන්න සද්දේ මට ඇහෙනවා.... වෙනදට වඩා ලඟින්.... ගොඩක් ලඟින්..... නුපුරුදු ආගන්තුක හැගීමකින් මුළු හිතම කිතිකැවිලා යද්දී මට ඕනේවුණේ මේ මොහොත ඒ සුන්දර විදියටම විඳගන්න... සදහටම මතකේ තියාගන්න.... ඒ හුරතල් හිනාව, දඟකාර ඇස් හැමදාටම මගේ වෙනව නම්? ඒ වෙනුවෙන් කැප කරන්න බැරිදෙයක් මට නැති තරම් කියලා ඒ මොහොතේදීත් මට හිතුණා. 


             දැන් නිකන් මේක ගොළු බිහිරි චිත්‍රපටියක් වගේ වෙන්නයි යන්නේ. ඒත් එහෙම වෙන්න බෑ.... මංම කතා කරනවා කියලා හිතලා පුළුවන් තරම් හිමීට ,පැහැදිලිව මං කතා කරා.

       'හෙලෝ' මං කතාකරන්න හදනකොටම මහිම කතා කරා.

       'හෙලෝ මහිම'

       'ඔහ්... එහෙනම් මේ ඇත්තටම ගර්ල් කෙනෙක්? සොරි මන්දහාසි.... මං හිතුවේ මගේ යාලුවෙක් මාව බයිට් එකට ගන්න හදනවා කියලා' ඒ හුරතල් කටහඬ ඕනෙම කෙනෙක්ගේ හිත මහිමට පැහැදෙන්න ලොකුම හේතුවක් කියලා ජීවිතේ පළවෙනි වතාවට මට හිතුණා. ඒ තරමටම පැහැදිලි විශ්වාසවන්ත කටහඬක් මහිමට උපතින් උරුම වෙලා තිබුණේ.

        'ආ.. ඉට්ස් ඕකේ. ඒ නිසා තමයි මං කෝල් කරේ' කටහඬ අඳුර ගනී කියලා තිබුණ බය නිසාම මං කතා කරේ ගොඩක් හිමින්.

       'හ්ම්.... ඉතින් ඉතින්?' මහිමගෙන් ප්‍රශ්නයක්. ගොඩක් සුහද විදියට ඇහුවත් ඒ ප්‍රශ්නෙට සුහද උත්තරයක් දෙන්න මට පුළුවන් කමක් නෑ. මොකද 'ඉතින් ඉතින්' කියන්නේ මං කවුද? නම්බර් එක කොහෙන්ද? මොකටද කතා කරේ? ඉස්කෝලේ මොකද්ද? ඉන්නේ කොහෙද? වගේ ප්‍රශ්න පත්තරේකට උත්තර එයා බලාපොරොත්තු වෙනවා කියලා මට ඉවෙන් වගේ තේරුණා. ඔය ප්‍රශ්න පත්තරේට පැටලි පැටලි උත්තර දුන්නොත් අන්තිමේදී මන්දහාසි , විශ්මි වෙලාම තමයි නතර වෙන්නේ. ඒ නිසා දැන් කරන්න තියෙන හොඳම දේ ශේප් එකේ ෆෝන් එක තියන එක කියලා මං තීරණේ කරා.

      'මහිම.. දැන් ඔයාගේ සැකේට හරි උත්තරේ ලැබුණා නේ?

     'ඔව්...'

     'එහෙනම් මං දැන් ෆෝන් එක තියන්නද?' 

     'ඇයි ඒ?'

     'මේකයි,දැන් ගොඩක් රෑ වෙලානේ. අම්මට ඇහුනොත් මට ලොකු ප්‍රශ්නයක් වෙයි. මං ඔයාට ටෙක්ස්ට් කරන්නම්. ඕකේ?'

     'අහ් එහෙමද? ඕකේ.. එහෙනම් මං තියන්නම්. බායි. බුදුසරණයි!'

     'බායි. බුදුසරණයි!'
                 හම්මේ.... හිතට දැනෙන නිදහසක්. ඒ විනාඩි දෙක , තුන මං හිටියේ ගිනි කබලක් උඩ ඉන්නවා වගේ අපහසුවකින්. ඔන්න දැන් නම් හරි. ඒත්..... මහිම මගේ කටහඬ අඳුර ගත්තා නම්?? අඳුරගෙන එයා දන්නෑ වගේ රඟපෑවා නම්?? ෆෝන් එක තිබ්බට පස්සේ මං ඉස්සෙල්ලම මහිම මැසේජ් එකක් එවනකන් බලාගෙන හිටියා.

     'Mandahaasi kiyanne oyage aththama nama da?' මං කොහෙත්ම බලාපොරොත්තු නොවුණ මැසේජ් එකක් මහිම එවල තිබුණ නිසා මං ගොඩක් කලබල වුණා. 

     'Ayi ehema ahanne?' මාත් කල්පනා කරලා ප්‍රශ්නෙකින්ම උත්තර දුන්නා.

    'Naa mage yaaluwek innawa Vishmi kiyala. Eyage voice ekath oyage wagemayi' කියයි කියලා මං බලාපොරොත්තුවකින් හිටියත් එයා එවල තිබුණේ මේ වගේ මැසේජ් එකක්.

     'Naa man e nama wadiya ahala naa.. ekayi ehema ahuwe. 'Mandahaasi' ... nice name. :D'


     'Thnx mahima.. :D '


     'Any time.. :D.... Man thama oyage age ekawath danne naane. So hw old r yu? :P'

     
    ' I'm sixteen... oyage wayasama thamayi. :D'


    'OOoooh... oya man gana dannawa wage godak ne?'

    
    ' Hmmm... i hope. :)'


    'K.. then mandahaasi. mata nidimathayi halo.. I'll txt ya 2moro. k?' අනේ කොච්චර දෙයක්ද? මාත් හෙන නිදි මතේ හිටියේ.

    'Ahh.. ya sure mahima. Gd n8. Swt drmz. Bs. Tc'

    'Gd nght. Swt drmz. bs. tc. byeeee... :) '

            මගේ පළවෙනි කෙටි පණිවිඩ හුවමාරුව ඔන්න ඔය විදියට අවසන් වුණා. නිදිමත තිබුණට පාන්දර වෙනකන් නින්ද නම් මගේ අහලකවත් තිබුණේ නෑ. මේක හීනයක් නෙමෙයි නේද කියලා තහවුරු කරගන්න මට දෙතුන් පාරක් ඉන්බොක්ස් බලන්න සිද්දවුනා. අන්තිමේදී මගේ අතක් කොනිත්තලාත් බැලුවා. අම්මියෝ... රිදුනා. නෑ නෑ.. ඒ කියන්නේ මේක හීනයක් නෙමෙයි. අමුතුම විදියේ කෝඩුකාර හැගීම් වලින් හිත පිරෙද්දී අන්තිමේදී මට නින්ද යනවා තේරුණා. උදේ මං ඇහැරුණේ ෆෝන් එක වයිබ්රේට් වුණ සද්දෙන්... නෑ නෑ මහිම නෙමෙයි. සඳු...

    'Ade vish nagitapiya... moko wune? msg karada? Ngitapanko wade... Aaaaaa me eka nemeyi, Good Morning swt hrt.. :D ;)' ඔය බලහල්ලකෝ ඉතින් උදේ පාන්දර බැනලා, දවසම මුස්පේන්තු කරලා අන්තිමේට ගුඩ් මොර්නින්ග් කියන කැත විතරක්. අම්මප මෙහෙමත් යාළුවො. 

ඊළඟ කොටසෙන් හමුවෙමු >>>>


ප/ලි : මං මේ කොටස ලිව්වේ උණ විකාරෙන්. මේ දවස් වල හොඳටම උණ. ඒත් කතාව ලියන්න පරක්කු ඇයි කියලා යාළුවො කීපදෙනෙක්ම මූණු පොතට මැසේජ් එවල තිබුණු නිසා අමාරුවෙන් හරි කතාව ලියන්න හිතුව. අඩු පාඩු ඇති. ගණන් ගන්න එපා.  කතාව ලියවෙලා ඇත්තෙත් වෙනදට වඩා පොඩ්ඩයි. සොරි හොඳේ..... කට්ටියගෙම අලුත් පෝස්ට්ස් ගොඩක් අප්ඩේට් වෙලා තියෙනවා දැක්කා. හෙට දිහාට ඇවිත් යන්න එන්නම්කෝ. තරහ වෙන්න ඔට්ටු නෑ හරිය??