'ආ..... ඒ පාර උඹ මොනවද කල්පනා කරන්නේ?' ළඟ හිටිය දිනාදිගේ ඔලුවට පුංචි තට්ටුවක් දාන ගමන් මගේ වෙන්ඩ නෑනාන්ඩි ඇහුවා.
'නෑ බං,බලපන් පොඩ්ඩක් කල්පනා කරලා. මහිමයා කොච්චර රොමෑන්ටික් පොරක් ද කියල?' ඇස් දෙකත් ලොකු කරලා දිනාදී මං දිහා නොබලා, අනිත් අය දිහා බලල ඇහුවා. 'ඒ මොකද්ද ඒ කතාවේ තේරුම' කියල මං අහන්න කලින් අනිත් අය ඉස්සර වුණා.
'අපෝ උඹලා නම් මෙලෝ රහක් නෑ. හරි හරි මෙහෙමයි' එහෙම කියන ගමන් දිනාදී ඉඳගෙන හිටිය මේසෙන් බිමට පැන්නා. දැන් මෙතන එක්කෝ වේදිකා නාට්ටියක්, නැත්තන් ෆිල්ම් එකක්.
ප/ලි : අම්මෝ කාර්යබහුල සතියක් අවසන්වුණේ අද දවල්. ඒ නිසයි මේ කොටස ලියන්න පරක්කු වුණේ. හොයල බැලුව හැමෝටම ස්තුතියි යාලුවනේ.. :))
කට්ටියගේ පෝස්ට්ස් වලට කමෙන්ට් කරන්න බැරි වුණා මේ ටිකේම. ඉක්මනින් එන්නම්කෝ.
'සෙනසුරාද හවස....... වටපිටාවම කියන්න බැරි තරම් ලස්සනයි........ පරිසරෙත් නිහඬයි, නිසංසලයි......... ඈතින් යාන්තමට මීදුමෙන් වැහුණු ආදරණීය හන්තාන........ ඩයින්මෝ එක ඇතුලෙන් ඇහෙන මියුරු සංගීතය.......... වඃ.... ඒ තරම් ප්‍රේමාන්විත, ආනන්දජනක, ආදරණීය, ජුගුප්සාජනක මොහොතක් තවත් කොහෙන්ද බං ආදරණීය යුවලකට??' ඔපෙරාවක රංග විලාසයකට ගැලපෙන විදියට අත් වලින් නිරුපණයක් කරලා පෙන්නන ගමන් දිනා විස්තර කරේ මං මහිමව හම්බවෙන්න යන දවස කොයිවගේ වෙයිද කියලා.
'අම්මට සිරි....'
'ඇයි බං උඹ ෆිල්ම් ඩිරෙක්ටර කෙනෙක් වෙයන්කෝ දිනා'
'මේ දැන් ඔය උඹ කිව්ව ආනන්දජනක යි, ජුගුප්සාජනක යි උඹලගේ ලොකු අම්මගේ පුතාලද බං?'
දිනාදී කිව්ව කතාව ගැන හැමෝම එක එක අදහස් පලකරත් මං කල්පනා කරේ වෙනම දෙයක් ගැන.
'ඇත්තටම එදා දවස ඒ තරම් ලස්සනවෙයි ද? නෑ.. නෑ... එහෙම වෙන එකක් නෑ. මහිම මාව දැක්කම මොන විදියේ ප්‍රතිචාරයක් දක්වයි ද? එයා කලබල වුණොත්? මිනිස්සු ඉස්සරහ මට හොඳටම බැන්නොත් එයාව රැවට්ටුවා කියලා? මට මොනවා වෙයිද?' මීට් වෙමු කියලා මහිම කිව්වම හිතේ ඇති වුණ තිගැස්ම දිනාගෙ කතාව නිසා දෙගුණ වුණ වගෙයි මට දැනුණේ.
'විශ්?' මගේ උරහිසෙන් අතක් තියන ගමන් ලෙන්ගතු බැල්මකින් මං දිහා බලාගෙන හිටිය විනූ නිසා මං ආයෙමත් පියවි සිහියට ආවා. මොන ප්‍රශ්නේ ආවත් මාව දාල යන්නේ නැති සහෝදරකමක බැඳීම ඒ ඇස් වලින් මං ඒ වෙලාවේදී හොඳටම දැක්කා. අනිත් යාළුවොන්ගේ ඇස් වල ලියවිලා තිබුනෙත් ඒ විදියම කතාවක්. මහිම මාව පිළිනොගත්තත් මට මගේ යාළුවො ඉන්නවා කියලා මං දැනගෙන හිටියා.
'වැඩිය හිතන්න එපා කෙල්ලේ. ඕනෙම දේකට අපි ඉන්නවනේ' ආයෙත් අර ලෙන්ගතු හිනාවමයි.
'මේ,ඒක නෙමෙයි දැන් මොකද්ද උඹ එදාට ඇඳගෙන යන්නේ?' එච්චර වෙලාවක් මටත් නිනවුවක් නොතිබුන ප්‍රශ්නයක්.
'විශේෂයක් නෑ බං' ගානකට නෑ වගේ මං කිව්වේ බොරුවක්. මහිමව හම්බවෙන්න යන දවස තීරණේ කරපු වෙලාවේ ඉඳලම දහස් සැරේකට වඩා හිතින් අහපු ප්‍රශ්නයක් ඒ.
'අන්න අන්න,ඉතින් උඹ අපිටත් කොලේ වහනවා. ඔහොම හිටහන්කෝ අපි තෝරලා දෙන්නම් එකක්' එහෙම කියලා කස්ටිය ගිහින් මගේ ඇඳුම් අල්මාරිය ඇරලා, ඇඳුම් තෝරන්න පටන් ගත්තා. වර්ණ ගැලපීම්-නොගැලපීම්, ලොකු මෝස්‌තර- පොඩි මෝස්‌තර, රේන්ද-බෝරිච්චි, ගවුම්-ඩෙනිම් ඔය හැම මගුලක් ගැනම ලොකු වාදෙකුත් ගියා. ඒ කියලා ඉතින් මං එදාට ඇඳුම් තුන හතරක් අඳින්නයැ. කොහොමින් කොහොමහරි අන්තිමේදී කස්ටිය ඒකමතිකව එක ඇඳුමක් තෝරලා දුන්නේ දීර්ග සාකච්චවකිනුත් පස්සේ.
_____________________________________________________
මෙච්චර දවසක් මන්දහාසි වෙලා මහිමගේ හිත දිනාගත්තට විශ්මි විදියට මහිමගේ හිතේ මං ගැන තියෙන්නේ කොයි විදියේ හැගීමක්ද කියලා මට හිතා ගන්නවත් බැරි වුණා. මහිම මන්දහාසිට ආදරේ කරාට විශ්මිට ආදරේ කරයි ද කියන්න මං දන්නේ නෑ. මහිමගේ හිතේ මං ගැන කිසිම හැගීමක් නැත්තන් එයා මාව දැක්කම ගොඩක් අසරණ වෙයි. මගේ ඉස්සරහදිම එයා මට ආදරේ කරන්න බෑ කියල කිව්වොත් ඒක මහිමගේ වැරද්දක් නෙමෙයි,ඒ වුනත් ඒ වෙලාවට මං අසරණ වෙයි කියන එක නම් මට හොඳටම දැනුණා. කොයි විදියේ අවස්ථාවකට මුණ දෙන්න වුණත් මමවත්, මහිමවත් ලෝකයක් ඉස්සරහ අසරණ නොවෙන විදියක් ගැන ගොඩක් සැරයක් කල්පනා කරා. එහෙම හිතලා මං මහිමගෙන් පුංචි ඉල්ලීමක් කරා.
'ඔයා මට එක දෙයක් පොරොන්දු වෙනවද? ප්ලීස්?'
'කියන්න හසී.. පුළුවන් දෙයක් නම් මං නොකර ඉන්නේ නෑ ඔයා වෙනුවෙන්'
'හ්ම්............ අපි හම්බවෙන දවසට.... ආදරේ කියන වචනේ තහනම් වචනයක් කරනවද?'
'ඇයි ඒ?'
'ඔයා මට දැන් ආදරේ කරාට මාව දැක්කට පස්සේ ඔයා කොහොම හිතයිද කියන්න මට තේරෙන්නේ නෑ මහි. එදාට එක්කෝ ඔයා අසරණ වෙයි, නැත්තන් මං අසරණ වෙයි. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු'
'අයියෝ.... පිස්සු කෙල්ල' හිනා වෙලා මහිම එහෙම කිව්වට හිනා වෙලා හිතා හදාගන්න මට බැරි වුණා.
'ඔයා දැන් ඔහොම කිව්වට මීට් වුනාට පස්සේ මට කෝල් එකක්වත් දෙන එකක් නෑ. ඒ නිසා ප්ලීස් මහිම'
'අපෝ එහෙමයි නේ හිතාගෙන ඉන්නේ? වෙලාවකට මට ඔයත් එක්ක හරි තරහයි හසී,ඔයාට ඇයි මං කියන දේවල් තේරෙන්නේ නැත්තේ? කමක් නෑ ඔයාගේ කැමැත්තක්'
ඒ ඉල්ලීම කරපු කෝල් එක කට් වුනේ මහිම මාත් එක්ක තරහ වෙලා. ඒ වුණාට ඒ තරහ බොහොම පුංචි වෙලාවකට විතරයි.
__________________________________________________________
සිකුරාදා රෑ නින්ද යන්න ගොඩක් වෙලා ගියත් සෙනසුරාදා උදේම මට ඇහැරුණේ හිතේ තිගැස්ම නිසාම වෙන්න ඇති. උදේ ඉඳන්ම පිස්සුවෙන් වගේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉඳලා සඳුටත් කෝල් එකක් දීලා බැලුවේ අද මාත් එක්ක යන්න එයාලත් එනවා කියලා පොරොන්දු වුණ නිසා.
'හරි හරි ඉන්දපන්කෝ පොඩ්ඩක්. හතර හමාර වෙන්න තව කොච්චර වෙලා තියෙනවද බං? උඹලගේ මේ මගුල් නිසා වැඩක් කරගන්නත් නෑ වදේ' නෝක්කාඩුවට වගේ එහෙම කිව්වට එයාල එනවා කියලා මං දැනෙන හිටියා.
අන්තිමේදී යන්තම් හිතා හදාගෙන දෙක විතර වෙනකොට ලැස්තිවෙලා මං ටවුන් එකට ආවා. මං ඇවිත් විනාඩි 15 කින් විතර යාළුවො ටිකත් මං ලඟට ආවා.
'දැන් උඹ මොනවද මහිමට දෙන්න හිතාගෙන ඉන්නේ?' අප්පා.......... මං එහෙම දෙයක් ගැන හිතුවෙවත් නෑනේ.
'අපෝ ඕව දන්නේ නැත්තන් එක්ස්පීරියන්ස් තියෙන අපි වගේ එකෙක්ගෙන් අහපංකෝ නැද්ද විනූ?' මං ඇස් දෙක ලොකු කරගෙන හිටිය නිසාද කොහෙද දිනා එහෙම ඇහුවේ විනූට ඇහැක් ගහන ගමන්. විනූ ඒකට ලජ්ජාවෙන් බිම බලාගත්තා විතරයි. කොහොමත් අයියා ගැන කතා කරනකොට විනූගේ කම්මුල් ලැජ්ජාවට රෝස පාට වෙනවා කියලා අපි කවුරුත් දන්නවා.
'මොනවද දෙන්න ඕනේ?'
'හ්ම්.....'
'හ්ම්ම්.....' හැමෝම කල්පනා කරනවා.
'වොච් එකක්?' සඳු ඇහුවා.
'මං දන්න තරමින් එයා වොච් එකක් පාවිච්චි කරන්න ආස නෑ සඳු'
'ටී ෂර්ට් එකක්?' ඒ දිනා.
'අනේ ෂර්ට් තෝරන්න මේ වෙලාවේ කඩවල් වල රිංගන්න බෑ බං' මං කිව්වේ වෙලා යයි කියලා හිතිලා.
'ආ ඔව් ඔව්. දාඩිය දැම්මොත් උඹේ මේක්අප් එක දියවෙයි නෙ නේද?'
'අනේ පල පල. උබයි මමයි නොදන්න මේක්අප්'
'හරි ඉතින් මොනවද දෙන්නේ එහෙනම්?'
'මං හිතන්නේ මං දන්නවා මොනවද ගන්න ඕනේ කියලා. වරෙන්කො යන්න' ටිකක් වෙලා හිතද්දී හදිස්සියේම හිතට ආව අදහස නිසා මං යාලුවොන්වත් ඇදගෙන කෙලින්ම ගියේ KCC එකට. සරසවි බුක් ෂොප් එකේ රාක්ක අස්සේ ඇවිදිනකොට දැනෙන පොත් වල සුවඳට මං හ්මදාමත් ආසකරා. ඒත් අද වැඩි වෙලා ඒ සුවඳ විඳින්නේ නැතුව අපි ආව කාරණේ ඉවර කරගෙන ඉක්මනට එලියට ආවේ ඩයින්මෝ එකට යන්න හිතාගෙන.
'ඔයා පොත් කියවන්න ආසද?'
'හ්ම්... ආසයි. හැබැයි ඉතින් පොත් පස්සේ හොයාගෙන ගිහින් කියවන්නේ නම් නෑ. කොහෙන්හරි හම්බුනොත් නම් අනිවා කියවනවා. ඔයා ආසද හසී පොත් වලට?'
'ගොඩා........ක් ආසයි' පොත් වලට මං ආදරේ කරේ පුදුම විදියට.
'මොකද්ද ඔයා ආසම පොත?'
'හම්මෝ.. ගොඩක් තියෙනවා. ඒත් ඉතින් හැමදාම කියෙව්වත් එපා වෙන්නේ නැති ආසම පොත 'ගුරු ගීතය'..'
'ගුරු ගීතය. මාත් අහල තියෙනවා. ගොඩක් අය කියනවා ලස්සනයි කියලා'
'අය්යෝ ඔයා තාම කියවල නැද්ද? වැඩක් නෑනේ' මං එහෙම කිව්වේ හිනා වෙලා.
'ආ..... මේකිගේ පඬිකම විතරක්. ගෙනත් දෙනවකො නොකියවා ඉඳීද කියලා බලන්න' ටික කාලෙකට කලින් මහිම මට ඔහොම කියලා බැන්නේ තරහකට නම් නෙමෙයි. සරසවියට ගිහින් ගුරු ගීතය අතට ගත්තේ මහිමට තෑගි කරන්න හිතාගෙන. පොත අරගත්තට පස්සේ පුංචි සටහනක් තියන්න හිතුනේ ඇයි කියන්න මං දන්නේ නෑ.
මහිම,
අදින් පස්සේ ආයෙත් කිසිම දවසක ඔයා මාත් එක්ක කතා නොකලත් මේ පොත එකම එක පාරක් හරි කියෙව්වොත් මට ඒ හොඳටම ඇති..
විශ්මි (මන්දහාසි).
ලියල ඉවර වෙනකොට අකුරු උඩට වැටෙන්න ඇස් වල කඳුළු බින්දු නලියව්වත් වැටෙන්න නොදී ඒ කඳුළු පිහිදල දැම්මේ සඳු..
'යමු' ඒ විතරක් කියලා පැණිදෙනිය බස් එකේ ඇවිත් දොඩම්වල හන්දියේ බහිනකන්ම මං කතා කලේ නෑ.
'මේ ටික පයින් යමු නේ?' දිනාදී කිව්වේ එතන හිටිය ත්‍රීවිල් ඩ්‍රයිවර්ගේ දිහා බලන ගමන්. මෙකි නම් කොයිවෙලේ හරි ගුටි කනවා කියලා මට ඒ වෙලාවේ හිතුනා.
හවස හතර වෙනකොට අපි හිටියේ ඩයින්මෝ එකේ පහල තට්ටුවේ තිබුණු සුපර් මාර්කට් එක ඇතුලේ. බඩු ගන්න උවමනාවක් නොවුනත් එතන හිටියේ මහිම උඩට ගියොත් පේන නිසා. රාක්ක අතර හිටියට මොකෝ අපි හතර දෙනාගේම ඇස් තිබුනේ එළියේ.
'අනේ මාත් එක්ක උඩට යමුකෝ. අනේ අනේ අනේ ප්ලීස් බං.....' මං වැන්දෙ නැති එක විතරයි.
'මේ පිස්සු කතා කරන්න එපා විශ්. මහිම හිතයි ඔයා එයාව බයිට් කරා කියලා. මොනවා වෙයිද එහෙම වුණොත්? පොඩ්ඩක් හිතපන්කෝ'
'ඒයි.... අර බලපන්' මාව ඉස්සරහ වීදුරුව පැත්තට හැරෙව්වේ විනූ.
දෙයියනේ මහිම....... ලා නිල් පාට ඩෙනිම් කලිසමට, සුදු පාට ටී ෂර්ට් එකක් ඇඳලා..... එයාගේ හුරතල් ගතිය මං හරියටම දකින්නේ දැන්ද කොහේදෝ. අද කන්නාඩි දෙකත් දාලා...... පඩිපෙළ දිගේ උඩට දුවගෙන ගිය එයාගේ අතේ පුංචි බෑග් එකකුත් තියෙනවා මං දැක්කා. කියාගන්න බැරි තරම් සිතිවිලි ගොඩක් හිතේ පෙරලි කරද්දී මට දැනුණේ මුළු ලෝකෙම නැවතිලා වගේ. ගල්පිලිමයක් වගේ මං හෙලවෙන්නේවත් නැතුව හිටියට මගේ පපුව ගැහුණ තාලෙට මට හිතුනේ මට කලන්තේ හැදෙන්න එනවා කියලා.
'දැන් පලයන්' පිටිපස්සේ ඉඳලා මාව තල්ලු කරේ සඳු.
'අනේ ඔයාලත් යමුකෝ' මං යාලුවන්ගෙන් ඉල්ලුවේ ගොඩක් බැගෑපත් විදියට.
'විශ්මි...'
බොහොම තදින්, තීරණාත්මක විදියට සඳු එහෙම කිව්වම මට සඳුගේ මුණ දිහා බලන්න ඇත්තටම දැනුණේ ලොකු බයක්. පුංචි කාලේ ඉඳන්ම, සහෝදරියක් නැති මට සහෝදරියක් වුණු, හෙවනැල්ලක් වුණු, මගේ හොඳම යාලුවා වුණු සඳු, මට 'විශ්' නොකියා 'විශ්මි' කියලා කතා කරන්නේ එයාට මාත් එක්ක ලොකු තරහක් ඇති වුණු අවස්තාවක විතරයි කියන එක මං දන්නේ අත්දැකීමෙන්. මේ වගේ තීරණාත්මක අවස්ථාවක වත් ඒ හඬට අවනත නොවී ඉන්න මට පුළුවන් වුණේ නෑ. නොදැනුවත්වම මං දොරත් අරගෙන සුපර් මාර්කට් එකෙන් එලියට ආවා. මං පස්සෙන් එලියට ආව යාළුවො දිහා එකම එක පාරක් මං හැරිලා බැලුවා. ඒත් එයාලගේ අදහස වෙනස් වෙන පාටක් තිබුනේ නෑ.
උඩ තට්ටුවට නගින්න තිබුණු පඩි කීපය මට දැනුණේ යාපහුවේ පඩිපෙළ වගේ. කකුල් පැටලිලා දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා මං හිමින් හිමින් උඩට නැග්ගේ බයෙන්. කකුල් දෙකත් වෙවුලනවා. එළියේ ඉඳන් වීදුරු දොර ඉස්සරහ හිටගෙන ඇතුල බැලුවට මහිම නම් පේන්න හිටියේ නෑ. මං පල්ලෙහා බැලුවේ සඳුල පඩිපෙළ පාමුලටවත් එයි කියලා හිතලා. ඒත් එයාල අවේ නෑ. එයාල මාව දාලා යයිද දන්නේ නෑ ක්යලත් හිතුනා.
පුළුවන් තරම් අත් වෙවුලන එක පාලනේ කරගෙන මං දොර
ඇරගෙන ඇතුලට යනවත් එක්කම වේටර් කෙනෙක් මට හිනා වීගෙනම පල්ලෙහට ගියා මට ඒ මනුස්සයට හිනා වෙන්නත් අමතක වුණා. එක තැනක
නැවතිලා වටපිට බලනකොට එළියේ තිබුණු හට් එකක් ඇතුලේ ඉඳගෙන ඉන්න මහිමව මං දැක්කා. එයා හිටියේ ඈතින් පේන, යන්තම් මීදුමෙන් වැහිච්ච හන්තාන දිහා බලාගෙන. මට ඒ වෙලාවේ මතක් වුණේ දිනාදී කිව්ව කතාව.
එතනට යන්න කලින් තවත් පාරක් මං කල්පනා කරා. පහලට දුවගෙන යන්න තරම් අසරණ කමක් මට දැනුණේ. කටේ කෙලත් හින්දිලද කොහෙද, උගුරත් රිදෙනවා. වටේ හිටිය කීපදෙනෙක්ම මං දිහා බලනව් කියලා දැනුනු නිසා මං මහිම ඉන්න පැත්තට ගියා, ගොඩක් හිමින්. ටේබල් එක උඩ අත්දෙකත් තියාගෙන ඈත බලාගෙන ඉන්න එයාගේ මුණ බලන්න තරම් මට ශක්තියක් නෑ කියලා මට තේරුණා. මොන දේවල් වුණත් අඬන්නේ නැතුව ඉන්න මං මගේ හිත පොරොන්දු කරගත්තා. මහිම ළඟටම ගියත් එයාට කතා කරන්න වචන පිට වෙන්නේ නැති වෙයි කියලා මට හිතුණා.
'ම්.. මහි... ම' වෙවුලන කටහඬින් වුණත් මට එයාට කතා කරන්න පුළුවන් වුණා. කලබලෙන් වගේ හැරිලා මං දිහා බලනවත් එක්කම වගේ
මහිමට පුටුවෙන් නැගිට්ටුනා.
'විශ්මි??' ලොකු ප්‍රශ්නාර්තෙකුත් මූණට ඇරගෙන මහිම කතා කරේ මගේ හරි නමින්.
' සො... සොරි මහිම.. මන්දහාසි ක්යන්නෙත් ම... මං' ඒ ඇස් වලින් මගේ ඇස් අහකට ගන්න දඟලන ගමන් මං කිව්වේ වෙන දෙයක් වෙද්දෙන් කියලා හිතලා.
ප/ලි : අම්මෝ කාර්යබහුල සතියක් අවසන්වුණේ අද දවල්. ඒ නිසයි මේ කොටස ලියන්න පරක්කු වුණේ. හොයල බැලුව හැමෝටම ස්තුතියි යාලුවනේ.. :))
කට්ටියගේ පෝස්ට්ස් වලට කමෙන්ට් කරන්න බැරි වුණා මේ ටිකේම. ඉක්මනින් එන්නම්කෝ.