අයිස්ට සහෝදරයෙක් නෑ කියලා ගොඩක් කස්ටිය දන්නවා මයේ හිතේ. මගේ ජීවිතේට සහෝදරයෙක් උරුම නැතුව ඇති. ඒත් දැන් මට මගේම වගේ සහෝදරයෝ ගොඩක් ඉන්නවා කියලා මං කියලා තියෙනවනේ. පුංචි කාලේ ඉඳන්ම මගේ දුකට සැපට හැමදේටම මට හිටියේ මගේ අක්කි විතරයි. එය 'ඉඳුනිල්' අපි දෙන්න අතරේ වයස් පරතරේ අවුරුදුම 7ක්. ඒත් අපි දෙන්න ආශ්‍රේ කරේ හොඳ යාළුවො දෙන්නෙක් වගේ. අක්කි මට ගොඩක් ආදරෙයි. මාත් එයාට ගොඩක් ආදරෙයි. හැබැයි මේ කියන්න යන්නේ අක්කි ගැන නම් නෙමෙයි.
අක්කි කසාද බැන්ද 2008 දී. දැන් ඉන්නවා පුතාල දෙන්නෙක්. ඔව් ඔව්.. මං දැන් පුංචි කෙනෙක්. පුංචි කාලේ ඉඳන්ම මං පොඩි උන්ට හරි ආදරෙයි. ඉතින් මගේ අක්කි මාව පුංචි කෙනෙක් කරපු දවසේ මට දැනුනු සතුට නම් මට වචන වලින් විස්තර කරන්න බෑ. ලොකු පුතා 'හිමහංස මිතුදම්'. ඒ පුංචි ප්‍රාණීයාව ඉස්සෙල්ලම දැක්ක මොහොත මට අද වගේ මතකයි. රෝසම රෝස පාටයි. එයාව ඉස් ඉස්සෙල්ලම වඩාගත්තෙත් එයාගේ පුංචි. අපේ පවුලේ ඉන්නේ කෙල්ලෝම රොත්තක්. ඒ නිසා අපෙ මේ හතර වෙනි පරම්පරාවේ පළවෙනි පුරුක වුනු පුංචි එකාට හැමෝගෙම ආදරේ නොඅඩුව ලැබුනා. එයා ඉස්සෙල්ලම හිනා වුණ හැටි , පෙරලුනු හැටි ,ඉඳ ගත්ත හැටි , එයා තිබ්බ මුල්ම පියවර මට අද වගේ මතකයි. කාර්යබහුල වෙලා තිබුණු අපේ ජීවිතවලට මගේ ආදරණීය 'හිමූ' ගෙනාවේ ලොකු අස්වැසිල්ලක්. දවසින් දවස එයා වෙනුවෙන් අපි හැමෝම බලාපොරොත්තු පොදි ගැහුවා. මගේ අප්පච්චිට - හිමූගේ අත්තාට හිමූ ඇරුණම වෙන ලෝකයක් නැති තරම්.
ගෙදර විතරක් නෙමෙයි පවුලේම හුරතලා වුණු මේ පුංචි කොල්ලට දැන් වයස අවුරුදු දෙකයි මාස නවයයි. හැබැයි ඉතින් ඒ ඔක්කොම පැත්තකින් තිබ්බම මේක මහා දඟ මල්ලක්. මගේ ඇඟේ ලේ කෝපකරවන මහ නසරානියෙක්. වෙලාවකට කරන වැඩ වලට මගේ අතින් ඕනේ තරම් ගුටි කාල ඇති. බැනුම් අහලත් ඇති. ඒත් ඒ දේවල් වලින් එයා ගැන තවත් ආදරයක් මිසක් කවදාවත් වෛරයක් නම් ඇති වෙලා නෑ මගේ හිතේ. ඇත්තම කිව්වොත් ඉතින් මගේ හිතේ කොනක මෙයා ගැන පුංචිම පුංචි ඉරිසියාවකුත් නැතුවම නෙමෙයි. මොකෝ ඉතින් මෙයා එන්න කලින් ගෙදර හැමෝගෙම ආදරේ , සැලකිලි ලැබුව පුංචිම සාමාජිකයා මම නේ. මට ලැබෙන්න ඕනේ සැලකිලි ඔක්කොම මේ දඟ කොල්ල හොරකම් කරලා දැන්. වෙලාවකට මාත් එක්ක රණ්ඩු කරනවා එයාගේ අත්තාවයි , අත්තම්මවයි බෙදා ගන්න. එතකොට අපේ අම්මි නම් මට කියන්නේ මෙහෙමයි 'එයාට තම අවුරුදු දෙකයි, ඔයාට දැන් විස්සයි පුතේ. අවුරුදු දහ අටක පරතරේ වෙලත් ඇයි ඔය පොඩි එකත් එක්ක රණ්ඩු වෙන්නේ? නිකන් ඉන්නකෝ' අම්මි එහෙම කිව්වත් ඇත්තටම එහෙම රණ්ඩු වෙලා හිමූව පොඩ්ඩක් අවුස්සලා ගුටියක් කන්න මං මාරම අසයි. කොහොම හරි දැන් ඔන්න හිමූටත් මල්ලි කෙනෙක් ඉන්නවා. 'හසදුන් තරුපියුම්' තම මාස 6යි. එයා ඉතින් කවදාහරි අයියටත් වඩා දඟ වෙන ලකුණු දැන්ම පේන්න තියෙනවා.
මං ගිය සතියේ කිව්වනේ මට හොඳටම උන හැදිලා හිටිය කියලා. ඒ දවස් ටිකේම ගෙදර හැමෝටම උන හැදුණා. පොඩි උන් දෙන්නටත් එක්කම. අපේ චුටි තරූට නම් ඉක්මනට හොඳවුනා. හිමූට බෙහෙත් පොවන්න අපි පුදුම මහන්සියක් ගත්තේ. ඒත් වැඩක් වුනේ නෑ. එයාට දවස් 4ක් උන තිබුණා. ඉතින් ගිය බ්‍රහස්පතින්දා එයාගේ බ්ලඩ් ටෙස්ට් එකක් කරාම රුධිර පට්ටිකා ප්‍රමාණය නියමිත ප්‍රමාණෙට වඩා ගොඩක් අඩුයි කියලා දැන ගන්න ලැබුණා. පුළුවන් තරම් ඉක්මනට පේරාදෙණිය ළමා රෝහලට ඇතුල් කරන්න වෛද්‍ය උපදෙස් ලැබුණ නිසා අපි ඉක්මනින් වුණා. අනේ ගිය ගමන් කොල්ලගේ අත් දෙකම තුවාල කරලා. කැනියුලා ගහන්න. සේලයින් දෙන ගමන් පැය හතරෙන් හතරට ලේ ගන්නවා. චුටි තරූ ඉන්න නිසා අක්කිට ළඟ නවතින්න බෑනේ. අයියා තමයි රෑට ළඟ නැවතිලා හිටියේ. සිකුරාදා දවල් මං ළඟ නැවතුනා.
'පුංචා අනේ අපි අපේ ගෙදර යමුකෝ........ අනේ යමුකෝ පුංචි........ මාව වඩා ගන්නකො ඔයා......... අනේ අත්තට එන්න කියන්න..... මාව එක්කන් යන්නකෝ...' මගේ චුටි කොල්ලා වාට්ටුව දෙවනත් වෙන්න කෑගැහුවා. දෙයියනේ මං පිච්චුණ තරමක්. එයා ඉස්සරහ අඬන්න බැරිකමට මං ඉවසගෙන හිටියා. ගෙදර අයට කන්න බොන්නවත් සිහියක් නෑ. කිසිම දෙකට සැලෙන්නේ නැති මගේ අප්පච්චි පවා හැමදාම ඇඩුවා.එයා අපේ ජීවිත වලට කොයි තරම් ලොකු ආලෝකයක් වුනාද කියලා මට ඒ වෙලාවේ හරියටම දැනුණා. ඒත් මං හිටිය දවසේ ටික වෙලාවක් අඬල එයා මාත් එක්ක සෙල්ලම් කර කර හිටියා. ඒ ගැන නම් මට තිබුනේ ලොකු සතුටක්. නර්ස් කෙනෙක් හරි ඩොක්ට කෙනෙක් හරි ලඟට එනකොට හයියෙන් කෑගහනවා.... අම්මි හැමතිස්සෙම බුදු පහන ළඟ වැඳගෙන ඇඩුවා. කන දෙයක් හරියට උගුරෙන් පහලට යන්නේ නෑ. අපි හැමෝම හිටියේ ලොකු දුකකින්. ඒත් ඊයේ උදේ ඉඳන් එයාගේ බ්ලඩ් රිපොර්ට්ස් ඔක්කොම සාමාන්‍ය තත්වෙන් තියෙනවා. අප්පච්චි ඊයේ දවසම එයා ළඟ. මේ ලියන දැනුත් එයා ළඟ. දැන් නම් ඇත්තමට අපිට පුදුම සතුටක් තියෙන්නේ... කියාගන්න බැරි තරම් සතුටක්. මට කෑගහන්න බැරි නිසාම ඒ සතුටට මේ පොස්ට් එක ලියල මගේ සතුට බෙදා ගන්න හිතුවා.. දැන් ටිකකට කලින් අප්පච්චිගේ ෆෝන් එකෙන් මට කෝල් එකක් අරගෙන කියනවා
'පුන්ති , පුතාගේ නීපොතු ඇවිලා, අප්පම්මා අතේ නිය කතල් එක එවන්න. පුතාගේ අත උයියා කලලා තිබ්බ කතු දෙකම ගැලෙව්වා නර්ස් ආන්ටි. දොත්ත අන්කල් පුතාගේ නළලේ පොත්තුවක් තිබ්බා. පුතා අත්තා එක්ක ශවුමක් ගියා. අපි ගෙදල එනවා. නත්තල් ගා අදමු අපි දෙන්නා......' කියවගෙන කියවගෙන ගියා. සන්තෝසේ වැඩිකමට ළඟ හිටපු අම්මිටත් කඳුළු ආවා. අද හවසට නැත්තන් හෙට උදේට එයාව ඩිස්චාර්ජ් කරනවා කිව්වලු...
ඉතින්...... ආයෙත් මගේ හිමූ ගෙදර එනවා. පොස්ට් එකක් ලිය ලිය ඉද්දි ඇවිත් ලැප් එකේ කීබෝර්ඩ් එකට ගහල දුවන්න, ෆිල්ම් එකක් බලන්න ඉල්ලලා කරදර කරන්න මගේ පුංචි චන්ඩි බන්ඩියා ආයෙත් ගෙදර එනවා. අපි නත්තල් ගහ හදනවා. ඔයාගේ පුන්තී ඔයාට ගොඩක් ආදරෙයි මගේ පුතේ.. ඔයා නැතුව පාලු සොහොන් පිටටනියක් වෙලා තිබුණ ගෙදරට සතුට අරගෙන ඔයා එනකන් අපි ආදරෙන් මග බලාගෙන ඉන්නවා මගේ රත්තරනේ.... ඔයාට දළදා සමිදු පිහිටයි!!
ප/ලි : පුංචි උන්ට ආදරෙන් සලකන, රැකබලා ගන්න පේරාදෙණිය ළමා රෝහලේ වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට හද පිරි ස්තුතිය!!...
*වැඩ ගොඩක් අස්සෙත් හිමූව බලන්න දුවගෙන ආව ,හිමූගේ වචන වලින් කියනවා නම් නෙලා මාමි (නෙරා අයියා), පූ නැන්දි (Pooh), දියබලියා මාමි (මධු) , තුතුලා මාමි (චින්ති අයියා) ,තූති මාමි (චුටි අයියා) ඔයාලට ගොඩක් ස්තුතියි!...
*එන්න බැරි වුනත් හිමූ ගැන ඇහුව පැතුම් මාමි (පැතුම්), රේ මාමි (Ray), තතී පුන්ති (සචී අක්කි) , විමූ නැන්දි (විමූ), ඉසුරු ඇතුළු මගේ යාළුවො ඔක්කොටම , නෑදැයෝ ඔක්කොටම ගොඩා....රියක් ස්තුතියි!!
ප/ප/ලි : මේ සතියෙත් ගිය සතියේ වගේම කස්ටියගේ පෝස්ට්ස් බලන්න එන්න බැරි වුණා මට. අද හවසට හැමෝගෙම පෝස්ට්ස් බලල කමෙන්ටුවක් දාල යන්න එන්නම්කෝ.හොඳේ.. :) :)


