Sunday, October 2

~මහිම මන්දහාසි~ 4වන කොටස


                        අද විද්‍යාව පන්තියේ සර් දීපු අනුමාන ප්‍රශ්න ටික බලාගන්න කියලා මන් පොත් මේසේ ලඟින් වාඩි වෙනකොට රෑ 8ට විතර ඇති පැයකට විතර පස්සේ අයිය මගේ කාමරේට එබුණා.

               'කෑවද නංගා?'

               'ඔව්' ...මහිම කෑවද දන්නෑ.මට එහෙම හිතුණා.

                        අයියා ඇවිත් මගේ ඇඳෙන් වාඩිවුණේ මගේ ඔලුවත් අතගාන ගමන්.ටික වෙලාවක් පොත දිහා බලන් හිටපු මට ඉවෙන් වගේ තේරුණා අයියගේ වෙනසක්. ෂුවර් එකටම මොකක් හරි කියන්න ඕනේ වෙලා. ගොනා හැරෙනකොට මට තේරෙනවා පොල් පැලේට විත්තිය. ඒ වගේම ඉතින් මේ ගොනා හැරෙනකොට එයාටත් තේරෙනවා.. මං පොතෙන් ඔලුව අයින් කරලා අයියා දිහා බලනකොට එයා හරි අහිංසක විදියට හිනා වුණා.


              'මොකද හලෝ?'

              'මුකුත් නෑ'

              'කියනවා කියනවා . මොකද්ද අවුල?'.

              'අවුලක්මත් නෙමෙයි. මේ.... තරහා වෙන්න එපා හරිද?. අර ඔයාගේ යාළුවා විනුරි. මං එයාගෙන් ඇහුවා මට කැමතිද කියලා'.

              'මොකක්? කවද්ද?' මට පුදුමත් හිතුණා. විනූ මට නිකමටවත් කිව්වේ නෑ නේ.

              'දැන් සතියකට විතර කලින්.එයාගේ English ක්ලාස් එක ලඟට ගිහින්'.

              'තමුසේ හරි කපටියි. මං නැති වෙනකන්ම හිටිය නේද? හරි හරි දැන් එයා මොකද කිව්වේ? අයියට හිනා ගියා.

               'ඔයා තරහා වෙයිද දන්නෑ කිව්වා'. යකෝ ඒක පුදුම කතාවක් නේ.මං මොකට අකමැති වෙන්නද.

               'මගෙන් අහලයැ ඔයා ගිහින් ඇහුවේ.දැන් මොකටද මගේ අවසරයක්?' ඇත්තටම මං ඇහුවේ තරහින්.පණ වගේ ඉන්න අයියයි,යාළුවයි දෙන්නම මේවා මගෙන් හංගනකොට මටත් දුකයි නේ අප්පා.

               'අනේ එහෙම නෙමෙයි හලෝ.ඔයා මගේ එකම,සුදු නංගානේ. පොඩ්ඩක් එයාට තේරුම් කරනවකෝ'.
      විනූ කොහොමත් මෙයාට කැමතියි.මට ඒක බුදු ෂුවර්. ඒත් ඉතින් මං ඒක මෙයාට එහෙම ලේසියෙන් කියන්නේ නෑ.මට නොකියා මගුල් කන්න ගියාට කරන්නම්කො හොඳ වැඩක්.

              'ඕව ඉතින් එහෙම ආවාට,ගියාට කරන්න පුළුවන් දේවල් නෙමෙයි හලෝ' මං ටිකක් බැරෑරුම් විදියට කිව්වා.
              'හරි දැන් ඔයාට ඒකට මොනවද ඕනේ?'. අන්න ඔහොමනෙ අයියල වුනාම ඉන්න ඕනේ.
     හ්ම්ම්...... මොනවද ඉල්ලන්නේ? මහිමව? පිස්සුද ඒක කිව්වොත් මෙයා මේ දැන්ම මගේ කණ පළයි. හ්ම්... දැනට නම් වෙන මොනවගෙන්වත් මට අඩුවක් නෑ.

             'මං ඒක වෙලාව ආවම කියන්නම්කො'.මං ටිකක් කල්පනා කරලා කිව්වා.

             'හරි හරි. තෑන්ක්ස්.පාඩම් කරන්නකෝ'. අයියා එලියට යන්න ලෑස්ති වුණා.

             'ආ මේ අයියේ. කවුද අර අද ක්ලාස් එක ළඟ ඔයා කතා කර කර හිටපු කොල්ලෝ ටික?' මං ඇඟට පතට නොදැනී ඇහුවා.
             
              'අපේ ඉස්කෝලේ මල්ලිලා ටිකක්.ඇයි?'

              'නෑ මේ අද එයාලා ක්ලාස් එක ඇතුළෙදි අපිට නිල් ගැහුවා.මොනවද හලෝ, ඉස්කෝලේ මල්ලිලාගේ discipline හදාගන්නවකෝ. අන්තිමයි'. මං බොරු තරහක් මවාගෙන කිව්වා.

              'මේ ඉස්කෝලෙට මුකුත් කියන්න එපා හරී.....' අයියා මං දිහා රවලා බැලුවා. තෝමස් එකට බැනල අයියව පොඩ්ඩක් අවුස්සන්න මං මාර ආසයි. 'මං උන්ට බනින්නම්කො'. අනේ අයියා මහිමටත් බනීද දන්නෑ.

              'අර විශ්වයි, තිසරයි තමයි නිල් ගැහුවේ. රුචිරයි ,මහිමයි පාඩුවේ හිටිය හරිද?' මං කිව්වේ අයියා මහිමට බනී කියලා බයේ. 

               'ආ..... බැන්නට මොකද කට්ටියගේ නම් එහෙමත් දන්නවා නේ?. අයියාගේ මුණේ ඇඳුනේ සරදම් හිනාවක්.'මං මහිමයට කියන්නම් අරුන් දෙන්නට කියන්න කියලා'. එහෙම කියලා අයියා යන්න ගියා. 

*****
               අද හරි ලස්සන දවසක්.ගොඩක් දවසකින් මං අද උදෙන්ම ඇහැරුණා. හිතට දැනෙන්නේ ලොකු සතුටක්. 'ප්‍රේමයෙන් මන රන්ජිත වේ,නන්දිත වේ.... පූෂ්පයෙන් වන සුන්දර වේ, ලංකෘත වේ....' කියල සරත්චන්ද්‍ර මහත්තයා කියල තියෙන්නේ බොරුවක් නෙමෙයි කියල මට හිතුණා.එක වෙලාවකට මට පිස්සුද කියලත් හිතෙනවා අප්පා. හිතට හිතෙන පිස්සු දේවල් වලට සමහර වෙලාවට තනියම හිනාත් යනවා. අම්මි එහෙම දැක්කොත් මං වසලා හමාරයි……

              අද මං ආසම කරන ලා නිල්පාට ගවුම අඳින්න ඕනේ කියලා මං ඊයෙම තීරණේ කරලා තිබුණේ. ....මං ලෑස්ති වෙලා කන්නාඩියෙන් ගිහින් ඇහුවා 'කැඩපත කැඩපත,මං ලස්සනද කියලා'. ආ .... නෑ නෑ... එහෙම අහන්නේ ඇඩ් එකකනේ.

       'හ්ම්ම්... මං ලස්සනද? මහිමට මාව ගැලපෙනවද?'. අනේ මන්ද. සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්.



*****

              මං අද කලින්ම ක්ලාස් එකට ආවා. මං එනකොට ක්ලාස් එකේම හිටියේ ළමයි 7ක්, 8ක් විතර. බෑග් එක ක්ලාස් එක ඇතුලෙන් තියලා මං එලියට ඇවිත් හිටියේ විනූ එනකං. හන්තාන පැත්තෙන් ලස්සනට ඉර පායාගෙන එනවා. A/L වලට හැමදාම කලින් ක්ලාස් යන්න ඕනේ කියල මං දැන්ම හිතා ගත්තා.

              මහිම තාම ක්ලාස් එකට ඇවිත් නෑ.. ඊයේ ආවෙත් පරක්කු වෙලා. අදත් පරක්කු වෙලාම එයි. එතකොටම මට හිතුනේ එය facebook ඉන්නවද දන්නෑ කියලා.. මං එයාගේ සම්පුර්ණ නම දන්නෙත් නෑනේ සර්ච් කරන්නවත්. අයියගේ  friend list එකේ ඉන්නවද බලන්න ඕනේ අද ගෙදර ගිහින්.
තව ටික වෙලාවකින් විනූ ක්ලාස් එකට එන පාරට හැරෙනවා මං දැක්කේ අත් දෙකත් බැඳගෙන ඒ පැත්ත බලාගෙන ඉන්නකොට. ඈත ඉඳන්ම මට හිනා වෙලා අත් වලින් මොනවද කිව්වත්,මට එයා කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න බැරි වුනා. විනූ දිහා බලාගෙන ඉඳපු මට හිතුනේ අපේ අයියන්ඩිගේ තේරීම නම් අතිවිශිෂ්ටයි කියලා.අහිංසක මුණ,හිනාවෙන ඇස්...අපේ අයිය පිස්සු වැටෙන්න ඇත්තේ ඒ නිසා..

              'මොකෝ විශ් කන්නවගේ බලාගෙන ඉන්නේ?' ලගට ඇවිත් මගේ අතින් අල්ල ගන්න ගමන් විනූ ඇහුවා.

              'ඔව් මං මේ හිතුවේ උඹව කන්න ඕනේ කිරට ද ,මිරිසට ද කියලා'.

              'ඩෙවල් දැම්මොත් නරකද?' විනූ හිනා වේවි ඇහුවා.

              'ඔව් ඒකත් නරකම නෑ... මේ මොකද්ද අර මට ගොළු බාසාවෙන් කිව්වේ?'

              'ආ... මහිම ඇවිත්..'

              'නෑ. කෝ?' කියලා මං අහනකොටම මහිම එයාගේ යාලුවෝ ටිකත් එක්ක ඈතින් එනවා.දවසම සම්පුර්ණයි වගේ දැනුණේ.

              'ආහ් මේ, මං අහන්නමයි හිටියේ දැන් කවද්ද මගේ අනාගත නෑනන්ඩි අපේ ගෙදර එන්නේ?' මං විනූගෙන් ඇහුවා.

              'ඈ......' විනූ පුදුමෙන් ඇහුවා.'ගිම්හාන් අයියා ඔයාට කිව්වද?'

              'නැතුව ඉතින් උඹ කිව්වායැ. හැබැයි ඉතින්  මං තරහයි.හරිද?මට නිකමටවත් කිව්වේ නෑ. අන්තිමයි'. විනූගේ අහිංසක මූණේ තිබුණේ පසුතැවිල්ලක්.

             'සොරි විශ්. ,මං හිතුවේ නෑ ගිම්හාන් අයියා එක්ක මං එෆෙයාර් එකක් පටන් ගන්නවට ඔයා කැමති වෙයි කියලා.එකයි කිව්වේ නැත්තේ'. විනූ කිව්වේ අඬන්න ඔන්න මෙන්න වගේ. 'අනික මං තාම ගිම්හාන අයියට කැමති කිව්වේ නෑ විශ්'.

             'හෝව් හෝව් .... පොඩ්ඩක් හිටපන්.ඔක්කොටම කලින් මට කියනවද මං මේකට අකමැති වෙයි කියලා හිතුවේ ඇයි කියලා?'. මං ඇහුවේ මගේ හිතට ලොකු බරක් වෙලා තිබුණ ප්‍රශ්නයක්.

             'ඔයා ගිම්හාන් අයියාට කොච්චර ආදරෙයිද කියලා මං දන්නවා විශ්. ඒ නිසාම ඔයා අයියට හොයන්නේ හැමදේ අතින්ම perfect කෙල්ලෙක්ව කියලත් මං දන්නවා.ඒ නිසා ඔයා මට කැමති වෙයි  කියලා මං හිතුවේ නෑ'.

           'අනේ විනූ ඔයා කොහොමද එහෙම හිතුවේ? උඹට පිස්සු බං. අන්තිමේදී මගේ අයියා මගේ නෑනන්ඩි විදියට තෝරාගෙන තියෙන්නේ මේ ලෝකේ ඉන්න හොඳම,ලස්සනම කෙල්ලව'. මං කිව්වේ අවංකවම. ඒ වෙලාවේ විනූට ඇඩුණා.

              'මේ අහන්නකො.ඔයා අපේ අයියට ආදරෙයි නේද විනූ?'. මං එයාගේ කඳුළු පිහිදාන ගමන් ඇහුවා.විනුරි ඔලුව වැනුවා.

              'එහෙනම් ඒක දැන්ම කියහන් මෝඩියේ. මනුස්සයා තාම නිදි ඇති'.

              'මං message එකක් යවන්නද?'

           'ඔය වගේ දෙයක් කෝල් කරලාම කිව්වොත් හොඳයි නේද?'

              'ඒකත් ඇත්ත. තෑන්ක්ස් විශ්'.

           විනූ අයියාට කෝල් කරනකොට මං ළඟ ඉන්න එක හරි නැති නිසා මං ටිකක් එහාට ඇවිදගෙන ගියා. මහිම තාම මග. වෙලාවකට හයියෙන් හිනාවෙනවා. තවත් වෙලාවකට බොරුවට යාලුවෙක්ට ගහන්න හදනවා. 'බොරු ෂෝ එක. එතන ඉන්න කෙල්ලෝ ටිකට පේන්න වෙන්න ඇති රඟපාන්නේ'. මට එහෙම හිතුනේ ඉරිසියාවට වෙන්න ඇති. හිනා මලක් අතින් අරන් විනූ මං ලඟට ආවා.
       
                'හරිද? කිව්වද?'. මං ඇහුවා.

                'හ්ම්..ඔව්. උඹ කිව්වා හරි. තාම නිදි'. හන්තාන පැත්තට යොමුවෙලා තිබුන විනූගේ ඇස් දිලිසෙන්න පටන් ගත්තා.'මං කෝල් කරාම එයා පුදුම වුණා.. දැන් නම් හිතට දැනෙන්නේ මාර සැහැල්ලුවක් විශ්'.

      මේ වෙලාවේ විනූගේ හිත ඇත්තේ අයියා ළඟ. ඒක එයාගේ මූණෙන් පේනවා. ආදරේ කරන අය එහෙම වෙන්න ඇති. එතකොට මං? මං මහිමට ආදරේ කරනවද?.
ඒ පාර ෆෝන් ඒක රින්ග් වෙනවා. 'අයියා' මං විනූට කියන ගමන් කෝල් එකට ආන්සර් කරා.

‘Hello’
' මේ විනූ ඉන්නවද ළඟ?' අයියා ඇහුවේ රහසින් වගේ.
'ඔව්. ඇයි?'
'එයා මට කෝල් කරලා කැමති කිව්වද?'
'ඈ.... මොකක්?' ඒ මොන අපබ්‍රංශයක් ද අප්පා.
'නෑ හලෝ. මං නිදාගෙන හිටියේ. එයා මට කෝල් කරලා කැමති කිව්වා.මට සැකයි මං හීනයක්වත් දැක්කද කියලා'
'අපෝ... තමුසේ නම් මහා මොකෙද්ද දන්නෑ අයියා'. මට ඉන්න තැනත් අමතක වෙලා හයියෙන් හිනා ගියා.'කිව්වා තමයි හලෝ. දැන්වත් නැගිටින්න. මේ , අපිට ක්ලාස් ඇරෙන්නේ 12 ට හරිද?
'හරි හරි මං එන්නම්. තෑන්ක් යූ සුදූ. උම්මා....බායි'.
'බායි.බායි'.
            
              'ඇයි විශ් ?' විනූ ඇහුවේ කලබලෙන්.අයියා කියපු ටික විනුට කියන ගමන් අපි ක්ලාස් ඒක ඇතුලට ගියා.
*****
                එදා දවල් 12 විතර වෙනකං මං ක්ලාස් එකේ හිටියේ හරිම නොසන්සුන්කමකින්.වෙන මොනවත් නිසා නෙමෙයි මහිමව පෙනුනේ නැති නිසා.කොටස් 3කට වෙන් වෙලා තිබුණු ක්ලාස් එකේ මහිමලා හිටියේ එහා කොණේ. අපි මෙහා කොණේ. ඒ මැදින් තවත් පේලියක් තිබුණා. ඒ නිසා එයාව මට පෙනුනේ නෑ. ඒ පැය 4ටම මං එයාව දැක්කේ එක පාරයි. එකට එළියට ගියා වෙලාවේ විතරයි. හිතේ ඉතුරු වුනේ කනස්සල්ලක් වගේ හැගීමක්.

 5වෙනි කොටසෙන් හම්බවෙමු >>> 

10 comments:

  1. ithuru tiakath daamuko balanna..

    ReplyDelete
  2. ඉතුරු ටික ලියමු නේද ඉකමනට?///??

    ReplyDelete
  3. හෙට (8) හවසට ඊළඟ කොටස දානවා සහෝදරයා.. ස්තූතියි ඔය දිරිගැන්වීමට... :D

    ReplyDelete
  4. බොහොම ලස්සන සුන්දර කතාවක්..හොඳ ගලායාමක් ආකර්ශණීය හා වින්දනීය රසයක් තියනවා..මේ ගලායාම වෙනස් කරන්න හෝ රටාව වෙනස් කරන්න එපා එතකොට කතාවේ රසයේ කිසිම අඩුවක් වෙන එකක් නෑ..කතාවේ අවසානය දුක්ඛදායක වුනත් සන්තුට්ටිදායක වුනත් කතාවේ රසය ඒ විදියටම ආරක්ෂා වේවි..මගේ සුබපැතුම්..දිගටම කියවනවා

    ReplyDelete
  5. @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - කතාව දිගටම ලියාගෙන යන්න ඔය වචන ලොකු දිරිගැන්වීමක්...ගොඩක් ස්තුතියි සහෝදරයා....

    ReplyDelete
  6. ඔයාලා අයිය මාතලේ සෙන් තෝමස් එකේද ? මරු නේ !! මරු ඉස්කෝලේ. ඉතින් ඊට පස්සේ මොකද උනේ. ඊලඟ කොටසත් බලලම ඉන්නවා

    ReplyDelete
  7. @මධුරංග : නෑ අයියේ මේ කතාව නුවර ජනප්‍රිය පිරිමි පාසලක් ගැන. ඒත් ඇත්තම ඉස්කෝලේ නම දාන එක කොච්චර තාත්වික ද කියන්න මං දන්නේ නෑ. අනික ඒ ඉස්කෝලේ නමට මොකක්හරි හානියක් උනොත් හරි නෑනේ.. ඒ නිසා ඇත්තටම නුවර නැති තෝමස් එකක් ගැන තමයි ලියල තියෙන්නේ..එතකොට කාටවත් කරදරයක් නෑනේ...

    හි හි... ස්තුතියි අයියේ කතාව බැලුවට.

    ReplyDelete
  8. හරිම ලස්සනයි හෆ්ෆා.. කතාව එක එක පරාසයන්ට විහිදෙන එක හරිම අපූරුයි!! එක අඅදර කතාවක් ඇතුලෙ තවත් කතා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතූ අක්කෝ.. තවත් ආදරේකට උදවු කරන ඒක පින් අතේ වැඩක් කියනවනේ.. හික් හික්.. :DD

      Delete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)