Saturday, October 8

~මහිම මන්දහාසි~ 5වන කොටස


                            දවල් 12 ට විතර අපේ අන්තිම ක්ලාස් එකත් ඉවරවුණා. ඒත් අපිට විනෝදවෙන්න පොඩි අවස්ථාවක් දෙන්න හිතපු සර් යෝජනා කරේ පුංචි ප්‍රසංගයක් කරමු කියලයි.ශා ..... මරු අයිඩියා එක...මේ ප්‍රසංගයේ නිවේදන කටයුතු කරන්න බාරවුණේ භාතිය කියල අපේ යාළුවෙකුට. නිවේදන කටයුතු කරන්න භාතියට තිබුනේ ලොකු හැකියාවක්. ටික වෙලාවක් යනකොට සින්දු කියන්න හැකියාව තියෙන අයගේ නම් යෝජනා කරපු පුංචි පුංචි චිට් භාතිය අතට හම්බවුණා. ඒ අතරින් පළවෙනි අවස්ථාව ලැබුණේ කල්ප ට.

   'ගහක මල් පිපිලා , පිපෙන්නේ ඇයිද නොදන්නෙමී... හිතක මල් පිපිලා , පිපෙන්නේ ඇයිද නොදන්නෙමී..'
    නුඹට සිත බැඳුනේ , කිමැයි මා තවම නොදන්නෙමී... නුඹට සිත බැඳි කාරණේ මම , තවම සොයන්නේමී...'
අන්න සින්දුව.. ඒ වචන ටික ලියල තියෙන්නේ මගේ හිතේ තියන හැගීම් ගැන කියලයි මට හිතුණේ.

දෙවෙනි අවස්ථාව ලැබුණේ සිරිමාවෝ බාලිකාවේ අනුරංගිට.

        'කඳුළු හෙලා.. නෑබිලියට සහල් ගරන අම්මා.....'
සර් ඇතුළුව මුළු ක්ලාස් එකම සංවේදී කරවන්න අනුරංගිට පුළුවන් වුණා.

        'හන්තානට පායන හඳ...ලස්සනයිද කියන්න...
        මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න..'
ඒ තුන්වෙනියට ඇහුණු සින්දුව.මේ දවස් වල නිතර ඇහෙන සින්දු අතරින් මං ආසම කරන සින්දුවක්.

                       'තව සුළු මොහොතකින් හඬා වැටෙන්නට වෙරදරන අපේ බොළඳ සිත් අහස සොඳුරු ගීතයකින් අස්වසාලන්නට මේ ආදරණීය ඇරයුම ශාන්ත තෝමස් විද්‍යාලයේ 'මහිම' සොයුරාට..'
       භාතියගේ ඒ වචන ටික ඇහෙනකොට මගේ කට අරුණා. ඇස් දෙකත් ලොකු වුණා.. අනේ එය කිව්වේ මහිම කියලද? මගේ යාලුවෝ මාව කොනිත්තනවා. විනූ ඒ අස්සේ මගේ ඇස් ඉස්සරහින් එයාගේ අත එහෙට මෙහෙට යවනවා.

'ආව් ආව් ... මූණේ සිරියාව'

'කට වහපන් විශ්, මැස්සෝ යයි'

'බලාගෙන ..ඇස් වල බබා එලියට පනී' ඔය වගේ දාහක් කතා අතරේ මහිම සින්දුව පටන් ගත්තා.

               'මේ ප්‍රථම වසන්තයයි.......දිවි අරණේ මදු මල් පිපෙනා , බිඟු රැව් නැගෙනා....
               මේ ප්‍රථම වසන්තයයි................'

           දැහැනකට සමවැදිලා වගේ මහිම සින්දුව කියනවා. මං හිතුවෙම එයා එතන සින්දුව ඉවරකරනකොට මෙතන මගේ හුස්ම ටික ගිහින් තියෙයි කියලා. මොකද මට හුස්ම ගන්නත් අමතක වුණා.

'ඔබ සිහිල් දොළක් සේ පාවී... වසන්තයක් වී ආවේ.....' අද ඉඳන් මගේ ආසම සින්දුව මේක... දවස තිස්සේ හිතේ තිබුණු කනස්සල්ල මොහොතකින් කොහේ ගියාද දන්නෑ....

*****
      
                      ප්‍රසංගය අවසානයේ සර් අපිට සුබ පතනකොට අපි හැමෝටම වගේ ඇඩුණා. ඒ තරමටම සංවේදී විදිහට සර් කතා කරේ. සර්ගේ අතින් autograph එක sign කරගන්න අපිට ගොඩක් වෙලා පෝලිමේ ඉන්න උණා. මං auto එක sign කරගෙන එතනින් අයින් වෙනකොට සඳුල පේන්නවත් නෑ. මං ටිකක් එහාට යන්න බලනකොට මෙන්න මහිම මගේ ඇස් ඉස්සරහා. එයා මං දිහා දුක හිතෙන විදියට බැලුවේ මං අඬලා හිටපු නිසා වෙන්න ඇති.
           
                 'මධූ අයියා ඇවිත් පල්ලෙහා ඉන්නවා' එයා මට කිව්වේ හරි හිමින්.
    
          මට අදත් එයාට හිනා වෙන්න අමතක වුණා. එයා ඒ ටික කියල හැරිලා එලියට ගියා. එයා අද මට කතා කරේ පළවෙනි වතාවට. ඇයි මං එයාට හිනා වුනේ නැත්තේ? එයා හිතනවා ඇති මං මහා පණ්ඩිත , ආඩම්බර කෙල්ලෙක් කියලා. මට මං ගැනම ඇති වුනේ තරහක්.

                'යමුද?'. මං ලඟට ආව සඳු ඇහුවේ දුකින්. මං හා කියලා බෑග් එකත් අරගෙන ඉස්සර වුණා. ක්ලාස් එකට නඟින පඩිපෙළ බැහැලා අපි පල්ලෙහාට එනකොට මහිමයි , යාලුවෝ ටිකයි අපේ අයියව වටකරගෙන ලොකු කතාවක්. අපිව දැකපු අයියා උවමනාවෙන්ම විනූ දිහා බලනකොට විනූ බිම බලාගන්නවා මං දැක්කා.
              'ඒ දෙන්නට දෙන්න ආදරෙයි කියාගත්තේ අද. දැන් දෙන්නගේ හිත වල මොනවා ඇතිද? ආයේ ඉතින් exam ඉවර වෙනකන් මේ දෙන්නට මීට් වෙන්න වෙන එකක් නෑ.පව් ' එහෙම හිතුනත් එත් එක්කම මට හරි අපූරු අදහසක් ආවා.

            'මේ තව වෙලා තියෙන එකේ අපි මාළිගාවට ගිහින් යමුකෝ' මං ඇහුවේ හරි උද්යෝගෙකින් වගේ.

           'ශා ... මරුනේ'.

              'හැබැයි මාත් එනවා. එත් ඉතින් මට ඔයාල පස්දෙනාවම නම් බයික් එකේ දාගෙන යන්න බෑ. ඕනේ නම් එක්කෙනෙක්ව දාගෙන යන්න පුළුවන්' අයියා කිව්වේ මනමාල හිනාවකුත් එක්ක.

              'හරි හරි මධූ අයියාට ඕනේ එක්කෙනාව දාගෙන යන්නකෝ. අපි ඉතින් පයින් එන්නම්' දුලනි කිව්වේ විනූ දිහා බලාගෙන.

             'එතකොට උඹල දැන් කොහෙද යන්න ඉන්නේ මහිම?' අයියා ඇහුවේ බොහොම වැදගත් ප්‍රශ්නයක්.

             'තව ටිකක් වෙලා ටවුමේ ඉඳල ගෙවල් වලට තමයි මධූ අයියා' මහිම කිව්වේ කිසිම අදහසක් නැතුව වගේ.

             'ඉතින් ඔය නිකන් රස්තියාදු වෙනවට වඩා හොඳ නැද්ද මේ අහිංසක ගෑනු ළමයි ටිකත් එක්ක දළදා වැඳලා පිනක් දහමක් කරගත්තොත්?. අනේ...... මේක මහාපාර නොවුණා නම් මං අයියව ඉඹල මරනවා.

   දැන් හැමෝම බලාගෙන ඉන්නේ මහිම මොනවා කියයිද කියලා. 'අනේ හා කියන්න... ප්ලීස්..' මහිම එයාගේ යාලුවෝ ටික දිහා බැලුවා.
        
              'අපෝ බං උඹ හරියට බය වෙලා ඉන්නේ මේ අහිංසක ගෑනු ළමයි ටිකත් එක්ක ගියොත් උඹට අතවරයක් වෙයි වගේනේ. යමු යමු. අපි එන්නම් මධූ අයියා' තිසර කිව්වේ හරි වාචාල කතාවක්.

     ඒ හුරතල් මූණට තරහක් එනවා මං ඉස්සෙල්ලම දැක්කේ දැන්. මහිම තිසර දිහා රවල බැලුවා. මහිම මං දිහා ඔහොම රවලා බැලුවොත් නම් මං මී පාසානම් කාලා මැරෙනවා, ඇත්තමයි. ඒ තරම් නපුරු බැල්මක් ඒක..

ඊළඟ කොටසේ හමු වෙමු... >>>

5 comments:

  1. Me kotasa daanna godak parakku wuna... Sorry wenna one honde...

    ReplyDelete
  2. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි උනා. ඔයා කියවලා තියෙනවද හන්තානට පායන සඳ සිංදුවේ අතීත කතාව ?

    මෙතන ක්ලික් කරලා ඒක කියවන්න

    ReplyDelete
  3. ආසාවෙන් ඇහුවට මොකද මං ඒ සින්දුවේ නිධාන කතාව හිතාගෙන හිටියේ වෙනස් විදියකට... අදයි හරියටම තේරුම දැන ගත්තේ...
    ස්තුතියි .. :D :D

    ReplyDelete
  4. //දැහැනකට සමවැදිලා වගේ මහිම සින්දුව කියනවා. මං හිතුවෙම එයා එතන සින්දුව ඉවරකරනකොට මෙතන මගේ හුස්ම ටික ගිහින් තියෙයි කියලා. මොකද මට හුස්ම ගන්නත් අමතක වුණා.//

    මටත් මෙහෙම හුස්ම ගන්න අමතක වෙලා තියෙනවා..:D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... ජීවිතේ එකම ඒක අවස්ථාවක හරි මෙහෙම අත්දැකීමක් නැත්තම් වැඩක් නෑ. :DD

      Delete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)