Monday, February 13

~මහිම මන්දහාසි~ 23වන කොටස [අවසන් කොටස]

     සඳුට කෝල් එකක් දෙන්න බැරි නිසාම මං මැසේජ් එකක් දාල ඇහුවා කොහෙද ඉන්නේ කියලා. කට්ටිය මාව දාලා හෝල්ට් එකටත් ගිහින් ඉවරයි. 


     'Wade shape da ban?' සඳු ඇහුවා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි නිසා මං හොරෙන් මහිම දිහා බැලුවා. කිසිම ගානක් නැතුව හුරතල් විදියට කතා කර කර මං ලඟින් ඇවිදගෙන එන මහිමව දැක්කම මට හිතුනේ ශේප් කියලා කියන්න. ඒත් මේ අවසානයක්ම නොවෙන නිසා ඒ ගැන තීරණේ කරන්න වෙලා වැඩියි කියලත් මට හිතුණා. 


     'i hv no idea Sandu.. :/ ' 


     'hmm... dn't worry sudu. lts c' සඳු එහෙම කිව්වේ මගේ හිත සනසන්න වෙන්න ඇති.


     'කාටද දැන් ඔය හෝ ගාලා කොටන්නේ?' පාර අයිනේ තිබුණු පුංචි ගල් කැටේකට පයින් ගහන ගමන් මහිම මගෙන් ඇහුවා. මං ඒ ප්‍රශ්නෙට හිනාවකින් විතරක් උත්තර දීලා පාඩුවේ හිටියා.

     'යාලුවොන්ට නේද?' ආයෙත් මහිම. ඇස් ලොකු කරලා පුදුමෙන් වගේ මං මහිම දිහා බැලුව විදියට එයාට හිනා ගියා.

     'හ්ම්.... '  තමන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන හිනාවේ හිමිකාරයත් එක්ක හවස් යාමේ, පාලු පාරක, ඇවිදගෙන යන්න අකමැති මොන කෙල්ලද? ඒ නුපුරුදු හැගීම කිසිම අඩුවක් නැතුව මං ඒ මොහොතේ වින්දා.  තොරතෝංචියක් නැතුව කියවන ගමන් පුංචි ගල් කැටයක් ෆුට්බෝලයක් කරගෙන පාර පුරා දුවන මහිමව දකිනකොට හිතට දැනෙන සතුටට හිත පුපුරලා යයි කියන මෝඩ සිතිවිල්ලක් පවා ඒ වෙලාවේදී මගේ හිතට ආවා. 

     ඒ නලියන තරු ඇස් වලට, දඟකාර හිනාවට වහවැටුණු මගේ හිත මහිමගේ කෙලින් කතාවට, නිර්ව්‍යාජ ගතිගුණ වලටත් ආදරේ කරන්න පටන්ගෙන කියලා ඒ වෙලාවේදී මට දැනුණා.

_______________________________________________________

     දොඩම්වල හන්දියෙන් මහිමට සමු දීලා, යාලුවොත් එක්ක බස් එකේ ගෙදර එන මොහොතේ පවා මගේ හිත තිබුනේ මහිම ළඟ. මහිම දුන්න ලියුම ගැන කිව්ව නිසා යාලුවොත් මගෙන් වැඩි විස්තර අහන්න ආවේ නෑ. මගේ හිතේ තිබුණු දෙගිඩියාව එයාලටත් දැනෙන්න ඇති කියලා මට හිතුණා. 

     ගෙදර ආව ගමන් මුණවත් හෝදන්නේ නැතුවම ලියුම බලන්නම් කියලා හිතුවට ඒකට අම්මිගෙන් ඉඩක් නම් ලැබුණේ නෑ. 'දවස තිස්සෙම රස්තියාදුවේ ගිහින් ඇවිත්, යනවා ගිහින් ඇඟ හෝදගන්නවා' අම්මිගේ තරවටුව නිසාම දඩි බිඩියේ ඇඟ සෝදාගෙන කාමරේට ආවම හිතටත් ලොකු සැහැල්ලුවක් දැනුණා. අම්මි එහාට මෙහාට වෙනකන් ඉඳලා කාමරේ දොරත් වහලා ඇවිත් මං ඇඳෙන් ඉඳගත්තා. හවස මහිම දුන්නු, පරිස්සමට පර්ස් එකේ දාගෙන ආව ලියුම මං අතට ගත්තේ මහිමට වුණු පොරොන්දුවත් මතක් කරන ගමන්. පුංචි අළු පාට බෑග්  එකත් පැත්තකින් තිබ්බේ හොරෙන්වත් බෑග් එක  ඇතුල නොබලමයි.

     'තාම තෑගී බැලුවේ නෑ නේද හොර පුසී? ෂුවර් නේ?  (ශිෂ්‍යත්ව පන්තියේදී ලියුමක් ලිව්වට පස්සේ මේ ලියුමක් ලියනවමද කොහෙද.. වැරදි ඇති,ගණන් ගන්න එපා හොඳේ. අනික අකුරු කැතයි කියන්නත් එපා හරිද.)' ලියුම් කවරෙන් ලියුම එලියට ගන්නකොටම කුරුමිණි අඬු වගේ පුංචි අකුරු වලින් මහිම ලියල තිබ්බ දේවල් දකිනකොට මගේ මූණට හිනාවක් ආවේ නොදැනුවත්වම වගේ.


     හිනා ගියාට මොකද ඊට පස්සේ නම් හිතට දැනුනේ ලොකු දෙගිඩියාවක්. මහිම ඕනෙවටත් වඩා හොඳින් හැසිරුන එක මට ඒ වෙනකොටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ. බයටමද කොහෙද අත් දෙකත් වෙවුලනවා. ලියුම දිග අරිනවද නැද්ද කියල හිත හිතා ඉන්නකොටම කෝල් එකක් ආවා. මං හිතුවේ මහිම වෙන්න ඇති කියලා. ඒ සිතිවිල්ල නිසා හිතේ බය දෙගුණ වුණා. ඒත් කෝල් එක සඳුගෙන් කියලා දැනගත්තම මට දැනුනේ ලොකු අස්වැසිල්ලක්.

     'Hello'
     'ලියුම බැලුවද?'
     'තාම නෑ.'
     'ඇයි බං මං හිතුවා දැන් බලලත් ඇති කියලා. මෙච්චර වෙලා පොල් ගෑවද? '
     'අනේ මට බයයි සඳු' මං ඇත්තම කිව්වා.
    'ආ..... ඒක හරි කතාවක් නේ. මොකෝ ලියුම අස්සේ යකෙක් ඉන්නවද? අනේ මේ විශ්. නිකන් මෙතන හුරතල් නොවී ඕක බලලා අපිටත් කියන්න'

     හවස තරහ ගිය විදියටම සඳුට ඒ වෙලාවෙත් තරහ යන්න ඇති කියලා මට හිතුණා. සඳු ෆෝන් එක තිබ්බට පස්සේ මං ආයෙත් ලියුම අතට  ගත්තත් එක පාරටම දිග අරින්න බය හිතුණා. යකෙක් නොහිටියත් ඒ ලියුම ඇතුලේ මගේ හීන විනාස කරන්න පුළුවන් බෝම්බයක් තියෙයි කියලා මං බය වුණා. ඒත් ඕනේ දුකක් දෙකයි පනහයි කියලා ලියුම කියවන්න තීරණේ කරේ සඳුගේ වචන මතක් වුණ නිසා.

     පිස්සු කේස් එක විශ්මි ට, මුළු ඇඟම පණ නැති වෙලා යනවා වගේ දැවිල්ලක් එක්කම මං ගල් ගැහුණේ මහිම ලියලා තිබුණු ආමන්ත්‍රණේ දැකලා. මීට් වෙන්න කලින් ලිව්ව ලියුමක මන්දහාසි නැතුව විශ්මි කියලා තිබුණේ කොහොමද කියන සැකෙත් එක්ක මං ඉතුරු ටික කියවන්න පටන් ගත්තා. 

     'හරි ඉතින් දැන් ඇස් දෙක නළලේ තියාගෙන හිටියා ඔය මදැයි. දැන් අර බෑග් එකේ දම් පාට ලොකු රැපින් එකෙන් රැප් කරලා තියෙන තෑග්ග දිග ඇරලා බලලා ඉන්නකෝ. ප්‍රශ්නෙට විසඳුම එතන ඇති. ' මහිම කොහොම කිව්වත් ඇස් නළලේ තියාගෙනම මං බෑග් එකෙන් ඒ පාර්සලේ අරගෙන හිමින් දිග ඇරියා. මගේ නැති වුණ ඩයරිය? මං අලවලා තිබුණු එකම එක ස්ටිකර් එකක්වත් අඩු නැතුව,නැති වෙද්දී තිබුණු විදියටම මගේ ඩයරි එක තිබුණා. ඒත් ඒක කොහොමද මහිම අතට ගියේ කියලා දැනගන්න තිබුණු කුතුහලේ නිසාම මං අයෙත් ලියුමට එබුණා. මටත් නොදැනිම මුළු ලියුම පුරාම දුවන්න දඟලන ඇස් බොහොම අමාරුවෙන් එක්තැන් කරගෙන මං නවත්තපු තැනින්ම කියවන්න පටන් ගත්තා.

     'ඔයාගේ නැති වුණු ඩයරිය. මන්දහාසි වගේම මාත් හොඳ නළුවෙක් තමයි හරිය. දැන් හිතනවා නේද මේක කොහෙන්ද මට කියලා? ඔන්න එහෙනම් ඉස්සෙල්ලම කිව්වා සොරි කියලා. මං ඕක හොරකම් කරා. ඔයා කොහේහරි ගිහින් හිටිය දවසක මං ඔයාලගේ දිහා ආවේ මධූ අයියව හම්බවෙන්න. ස්පෝර්ට්ස් මීට් එකේ වැඩ වගයක් කරන්න නෙට් යූස් කරන්න ඕනේ වුණත් මධූ අයියගේ ලැප් එකේ අවුලක් නිසා අපි ඔයාගේ කම්පියුටර්  එකෙන් නෙට් ගියා කියමුකෝ. ටික වෙලාවකින් ටී ෂර්ට් ඩිසයින් එකක් ඇඳගන්න කොලයක් හොයන්න මං ඔයාගේ පොත් රාක්කෙ අවුස්සනකොට ඔයාගේ ඩයරි එක මෙසේ උඩට වැටුණා. කාගේවත් ඩයරි එකක් බලන්න උවමනාවක් නැති වුණත් ස්ටිකර් තොගයක් අස්සේ මන්දහාසි කියලා තියෙනවා දැකලා මං ඩිම් වුණා. ඒ කුතුහලේ නිසාම මධූ අයියා එහා මෙහා වෙනකන් ඉඳල ඩයරිය ඉස්සුවා.' හප්පේ ඒ ටික දැක්කම මට හුස්ම ගන්නත් අමතක වුණා.. ඩයරිය නැති වුණු එකට මං සැක කරේ අපේ අයියව. මහිම කියලා නම් හීනෙකින්වත් හිතුවේ නෑ. බලාගෙන ගියාම මේ තරු ඇස් ඇති කුමාරයත් හොඳ නළුවෙක් තමයි. හැමදෙයක්ම දැනගෙනත් බබා වගේ හිටිය හැටි. ඒ ගැන හිතනකොට නම් මට දැනුනේ පොළොව පලාගෙන යන්න තරමට ලැජ්ජාවක්.

     'ගෙදර ගිහින් නිවාඩු පාඩුවේ මං ඔයාගේ මුළු ඩයරි එකම කියෙව්වා. තරහ නෑනේ මාත් එක්ක? තරහ වුණත් දැන් ඉතින් කරන්න දෙයක් නෑ හොඳේ. මේ, ඒක නෙමෙයි මොනවද අර මං ගැන ලියල තියෙන්නේ ආ?? හප්පේ මට ඒවා දැකලා ලජ්ජා හිතුනා අප්පා. සිරාවට මගේ හිනාව ලස්සනයිද? අම්මප මට කවදාවත් එහෙම හිතිලා නෑනේ. ඒ මදිවට ඇස් දෙකත් ලස්සනයිලු. කවුරුත් මං ගැන ඔහොම කිව්වමද කොහෙද. ලැජ්ජාවේ පණ යනවා.' ඒ වෙලාවේ මහිමට වඩා ලජ්ජා හිතුණේ මට.

     'විශ්මි, යාලුවොත් එක්ක සමනලියක් වගේ සැහැල්ලුවෙන් ඉන්න ඔයාව  මං ඉස්සර ඉඳන්ම ක්ලාස් එකේදී දැකලා තියෙනවා. ඒත් ඔයා මාව දැක්කේ අන්තිම දවසේ කියන එක නම් මට විශ්වාස කරන්න බෑ ඇත්තටම. සමහරවිට ඔයාට මාව විශේෂයෙන් පේන්න ඇත්තේ එදා වෙන්න ඇති.'  ඇත්තටම මට ඒ ගැන ඉස්සෙල්ලම හිතුණේ ලියුම කියවද්දී. මං මහිමව කලින් දැකලා නැති වෙන්න බෑ. මට විශේෂයක් නොවෙන්න ඇති. 'එදා ක්ලාස් එකේදී ඔයා මං දිහා කීප සැරයක්ම බලනවා දැකලා අපේ උන් මාව කෑවේ නැති එක විතරයි. මාත් නොදැක්කා නෙමෙයි, මාත් දැක්කා.... ඒත් මට ඔයාව විශේෂයක් වුණා කියලා බොරුවක් කියන්න තරම් මං ආත්මාර්ථකාමී කොල්ලෙක් නෙමෙයි විශ්. ඒ වෙලාවේ ඇත්තටම ඔයාව මට විශේෂයක් වුණේ නෑ.' නොසන්සුන් සිතිවිලි නිසා එක පාරටම හිත හිරි වැටුණා කියලා මට තේරුණත් මහිම අවංකව කිව්ව කතාව ගැන හිතේ ඇති වුණේ පැහැදීමක්. ගෑනු ළමයි කීපදෙනේක්ගෙම අවධානයට ලක්වෙන ඉලන්දාරියෙක් වුණු මහිමට මාව විශේෂ නොවුණු එක පුදුමයක් නෙමෙයි.

     'ඒත් එදා හවස, ඔයා මධූ අයියත් එක්ක බයික් එකේ නැගල යනවා දකිනකොට ඔයා දිහා නොබලා අහක බලාගෙන හිටියේ ආඩම්බරකමකට නෙමෙයි.ඉරිසියාවක්ද මොකද්ද මන්ද එක පාරටම හිතට දැනුණා නිසයි. ඒත් පහු වෙනිදා ඔයා මධූ අයියගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයි නංගි කියලා දැනගත්තම හිතට සැහැල්ලුවක් දැනුණා. ඒ සතුටට විසිල් එකක් ගැහුවමනේ නපුරිච්චි වගේ මට බැන්නේ. මතකද?' දෙයියනේ ඒ දේවල් කොහොම අමතක කරන්නද.. හවස මීට් වෙලා ගියාට පස්සේ මහිමගෙන් තම මිස් කෝල් එකක්වත් නෑ. මං තිබ්බෙත් නෑ. ෆෝන් එක අතට අරගෙන කෝල් කරන්නත් හදලා ඉතුරු ටිකත් කියවලාම කෝල් කරන්න තීරණේ කරා.

     'ඊටපස්සේ මං ඔයාලගේ ගෙදර ආව ගිය දවස් වලයි, අපේ කට්ටියව දැක්ක ගමන් හොරෙන් හොරෙන් ඔයා මාව හොයනවා මට නොතේරුණා නෙමෙයි විශ්මි. ඒත් මං පුළුවන් තරම් ඔය ඇස් මග ඇරලා ඉන්න උත්සාහ කරා. ඒ මධූ අයියා නිසා. මං ඔයාගේ අයියට ගොඩක් ගරු කරන නිසා. ඔයාට මතක ඇතිනේ දවසක් අයියා අපි දෙන්න දිහා අමුතු විදියට බැලුව හැටි. මට එයාගේ විශ්වසේ නැති කරගන්න ඕනේ කමක් තිබුනේ නෑ.. අර දවසක් ඔයා හැදුව තේකක් බීල හැමෝම රසයි කිව්වත්, මං මුකුත් නොකිය පාඩුවේ හිටියේ මගේ නපුරුකමට කියලා ඔයා ලියල තිබුණා. නෑ විශ්මි, මං නපුරු නෑ. නිකරුනේ ඔයාටත් බලාපොරොත්තු දීලා මාත් බලාපොරොත්තු තියාගන්න මං බය වුණා'

     'ඒත් පස්සේ ඉතින් කට්ටිය එකතු වෙලා මගේ නම්බර් එක හොයාගෙන මං ගැන හොයන්න ගහපු ප්ලෑන් එක නම් නියමයි හොඳේ.. ඒ වැඩේ නම් මගේ හිතට ඇල්ලුවා සිරාවටම' හප්පේ... මං හිතුවේ මහිමට ඒකට තරහ ගිහින් ඇති කියලා. 'මට අහු නොවුණා නම් තවත් නියමයි. දැන් ඒ හොයාගත්ත විදියට මං හොඳයි ද?'

     'ඔයා තහනම් කරපු මාතෘකාව ගැන කතා කරන්න මට දැන්වත් අවසරද මැඩම්?? නැති වුණත් කරන්න දෙයක් නෑ ඉතින්. ඔයා මට ආදරෙයි විශ්මි. මං ඒක දන්නවා. මට ඒක දැනෙනවා. ඒත් කෙලින් ඒ ගැන මට කියන්න තරම් ඔයා ශක්තිමත් නෑ කියලත් මං දන්නවා. ඒ නිසයි මං මන්දහාසිට ආදරෙයි කිව්වේ. අවංකවම මං හිතුවේ ඔයා මට පැනපු ගමන් කැමති වෙයි, ඊට පස්සේ ඇත්ත කියයි කියලයි. ඒත් පස්සේ තේරුණා මං වැරදි කියලා. ඔයාගේ ආදරේ ඒ තරම් පහත තත්වෙකට දාන්න තරම් ඔයා මෝඩ කෙල්ලෙක් නෙමෙයි කියලා මං දැනගත්තා. ඒ ගතිගුණේට මං ආදරෙයි ඇත්තටම.'මගේ හිතේ ඇති වුණු හැගීම කියන්න මට වචන නෑ. සතුට වැඩිකමට ඇස් වල කඳුළු පිරුණා.

     'විශ්මි... මං ආදරෙයි ඔයාට. හැගීමකට වහල් වෙලා තාවකාලික සැනසීමක් හොයන්න නෙමෙයි. ජීවිත කාලෙම පරිස්සම් කරලා තියාගන්න පුළුවන් ආදරයක් ඔයාට දෙන්න මට පුළුවන්. හැමදාමත් ලඟින් ඉඳන් මට ආදරේ දෙන්න ඔයාට පුලුවන්ද? මොනම ප්‍රශ්නේ ආවත් දාල දුවන්නේ නැතුව, ප්‍රශ්න වලට මාත් එක්කම විසඳුම් හොයන්න, මට ශක්තියක් වෙන්න ඔයාට පුලුවන්ද? ඔයාට එහෙම පුළුවන් නම් මට ඔයාගේ ආදරේ දෙන්න විශ්මි. මට මාව විශ්වාසයි. ඔයාට ඔයාව විශ්වාසද? ඔයාගේ ආදරේ විශ්වාසද?' මට මාව විශ්වාසද? මං මගෙන්ම ඒ ප්‍රශ්නේ ඇහුවා.


     'මේ ලියුම කියවලා ඉවර වුණාම මට උත්තරයක් ඕනෙමයි හොඳද... එක්කෝ 'හා' නැත්තන් 'බෑ' දෙපැත්තට වැනෙන්න බෑ කෙලින් උත්තරයක් ඕනේ මට. අනිත් එක....... මං හැමදාම දකින්න ආසයි නිදහසේ, කැටයම් නැති චාම් විදියට ජීවත් වුණු විශ්මිව. ඔයාගේ පුංචි, අහිංසක හිත සංකීර්ණ විකාරයක් කරගන්න එපා පැටියෝ. එහෙම කෙල්ලොන්ව මට පේන්න බෑ.'

     'හම්මෝ යන්තම් මේ මගුල ලියල ඉවරයක් කරගත්තා. දැන් ඔයා මේ මාගල කියවලත් ඉවරයි. ඔයාගේ ඇස් වල කඳුළුද? ඔයාට අඬුනා නම් මට සමාවෙන්න විශ්මි. ආයෙත් ඔයා ඇස් වල මං නිසා කඳුළු පිරෙන්න ඉඩ තියන්නේ නෑ කියලා මං පොරොන්දු වෙන්නම්.'

     'බුදු සරණයි වස්තුවේ. පරිස්සමට ඉන්න. පිළිතුරු බලාපොරොත්තුවෙන් පසු වෙන අහිංසක කොල්ලෙක්මි.. :*** ;)' ලියුම කියවලා ඉවර වෙලා මං විනාඩි දහයක් විතර කොට්ටෙට මුණ ඔබාගෙන අඬන්න ඇති. අන්තිමේදී මුළු දුකම හෝදගෙන ගිහින් ඉතුරු වුණේ මගේ ආදරේ සතුට විතරමයි. හිත ඉල්ලන දෙයල් ලැබෙන කෙනෙක් කොයි තරම් නම් වාසනාවන්ත ද? මාත් වාසනාවන්තියක් කියලා දැනෙනකොට හිතේ ඇති වෙන්නේ අහිංසක ආඩම්බරයක්. ඒ හුරතල් හිනාවේ, තරු ඇස් වල අයිතිකාරයා මගේම විතරයි කියලා හිතෙනකොට හිතට දැනෙන ආඩම්බරේ ලෝබකම වෙන්නත් ඇති.. ඒත්........ මං කැමතියි ඒ ලෝබකමට. 

     මං ෆෝන් එක අතට ගත්තේ මහිමට කතා කරන්න හිතාගෙන. ඔයාල හිතන්නේ මං මහිමට මොනවා කියන්න ඇති කියලද? හා?? බෑ?? ඒ දෙකම නෙමෙයි.
'මහිම, ඔයාට වගේම මටත් මාව විශ්වාසයි. මගේ ආදරේ විශ්වාසයි.'

~නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා~

_______________________________________________________

ආදරණීය අවසානයක් නිසා ආදරණීය දවසකම ඔයාලට අවසන් කොටස දෙන්න හිතුනා.
ආදරණීය ආදරවන්තයින්ගේ දිනයක් වේවා!

ප/ලි : ~මහිම මන්දහාසියේ~ පසුවදනක් සමගින් ඉක්මනින් හමුවෙමු! කාර්යබහුල සතියක් වුණු නිසා මට කට්ටියගේ පෝස්ට්ස් ගොඩක් මග අරුණා. ඉක්මනින් ඇවිත් යන්න එන්නම්.. :)

Saturday, February 4

~මහිම මන්දහාසි~ 22වන කොටස

     රෙස්ටුරන්ට් එක ඇතුලේ හිටිය සෙනග දිහා බැලුව මහිම අයෙත් ඉක්මනටම මගේ දිහා බැලුවා. ඒ ඇස් දිහා අනිමිසලෝචනයෙන් බලාගෙන ඉන්න ඕනේකමක් තිබුණත් මං ඉක්මනින්ම බිම බලාගත්තේ හිතට දැනෙන අපහසුව මග හැර ගන්න හිතාගෙන.


     'වාඩි වෙන්නකෝ' මට එයාගේ ඉස්සරහින් තිබුණු පුටුව අතින් පෙන්නන ගමන් මහිමත් වාඩි වුණා.

     'ශික් මං වගේ මෝඩියක්. මොකට මෙහෙම මීට් වෙන්න ආවද මන්ද.. එක්කෝ ඕනේ මගුලක් වෙද්දෙන් කියලා ෆෝන් එකෙන්ම මේ හුටපටේ කියලා ඉවරයක් කරගන්න තිබුණා' මගේ හිත මටම දෙස් තියෙනවා. පැත්තකට ඔළුව හරවලා මං හිමින් හන්තාන දිහා බැලුවා. බැහැගෙන යන ඉර එළියෙන් හන්තාන හැඩවෙලා තිබුණත් හැම තිස්සම යාන්තමට තියෙන මීදුම් පටලය ඒ වෙලාවෙත් පෙන්න තිබුණා.

     'විශ්මි... ' මං අහන්න කැමතිම කටහඬින් මගේ නම ලස්සනට කියවෙනකොට මං කොහොමද නොබලා ඉන්නේ. මං බැලුවා,හැබැයි මහිමගේ මුණ දිහා නෙමෙයි ටී ෂර්ට් එක දිහා. 

I'm the BOSS 
NO Questions,
No Arguments,
We'll JUST DO THINGS
MY WAY..!

     මහිමගේ සුදු පාට ටී ෂර්ට් එකේ නිල් පාට අකුරින් ලියල තිබුණු වචන පේලි ටික කියෙව්වම මට දැනුණේ අනතුරු ඇගවීමක් වගේ හැගීමක්.

     'විශ්මි?' දෙවෙනි පාරට ඒ කටහඬ ඇහුණේ නම් ප්‍රශ්නාර්ථයක් විදියට. දැන් නම් මුණ දිහා බලන්නම වෙයි. පුළුවන් තරම් හිතට ශක්තිය අරගෙන මං ඒ තරු ඇස් දිහා කෙලින් බැලුවා. 

     'සොරි' මාත් ඉතින් 'ඉට්ස් නයිස් ටු මීට් යූ' කිව්වම  'හැපී බර්ත්ඩේ' කිව්වා වගේ මෙලෝ ගැලපීමක් නැති කතාවක් කිව්වා.

      'හෙහ්... සොරි? ෆො වට්?' මහිම හිනා වෙලා කිව්වම ඒ ඇත්තම හිනාවක්ද, නැත්තම් නෝන්ඩි හිනාවක්ද කියලා බලන්න නම් මං ඒ මුණ දිහා හොඳට බැලුවා. පුරුදු විදියටම ඒ මූණේ ඇඳුනේ මහිමටම විතරක් තිබුණු හුරතල් හිනාවමයි. ගිනි කබලක් වගේ මගේ හිත ගිනියම් වෙලා තිබුණු මොහොතේ ඒ හිනාව දැක්කම හත් අවුරුද්දකින් වැහැපු නැති පැත්තකට හදිස්සියේම අයිස් කැට වැස්සක් කඩන් වැටුණා වගේ සනීපයක් දැනුණා. මෙච්චර කාලයක් මගේ හීන වලට පාට දීපු, බලාපොරොත්තු ජීවත් කරවපු ඒ හිනාවට ජීවිතේ වුණත් දෙන්න පුළුවන් කියලා මට ඒ වෙලාවේ හිතුණා.

     'මේ, කෝ අර ඔයාගේ බ්රේක් නැතුව කියවන කට, ආ??' මං පාඩුවේ හිටිය නිසාමද කොහෙද ආයෙත් මහිමම ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙටත් මං හිනාවකින් විතරක් උත්තර දුන්නේ ඇයි කියන්න තේරුණේ නෑ, ඒත් නොතේරෙන අමුතු බලවේගයක් නිසා මං හිටියේ කතා කරගන්න බැරුව.

     'හරි.. මොනවද කන්නේ?' ඔන්න ඉතින් ඇහුවා මං උත්තර දෙන්න ආසම නැති ප්‍රශ්නේ. දවල්ට කාලා නැති වුණාට මොකද දැන් නම් කනවා තියා වතුර උගුරක්වත් බීගන්න බැරි තරමට බඩ පිරිලා. ඊටත් වඩා හිත පිරිලා. අනික අපේ උන් පල්ලෙහා මං වෙනුවෙන් බඩගින්නේ ඉද්දි මං තනියම කන්නේ කොහොමද? ඒත් ඉතින් ඒක මහිමට කියන්නයැ.


     'හ්ම්... බඩගිනි නෑනේ' 

     'අන්න ඉතින් කිව්වා බොරුවක්... යකෙක් කන්න බඩගින්නේ ඉන්නේ කියලා මුණ බැලුවම කියතහැකි' මහිම එහෙම කියනකොටම වගේ වේටර් කෙනෙක් අපි ලඟට ආවා. මහිම මං දිහා බලාගෙන හිටියේ මං කන්නේ මොනවද කියලා දැනගන්න කියලා මට තේරුණා. 

     'හ්ම්....' නිනව්වක් නැතුව මං බොරුවට කල්පනා කරනවා වගේ පෙන්නුවේ ළඟ හිටිය වේටර් නිසා.

     'වෙජිටේරියන් නෙමෙයි නේ?' මගේ දීර්ග කල්පනා කිරිල්ල නවතෙන්නේ නැති නිසා මහිම ඇහුවා.

     'නෑ'

     'චිකන් සබ්මැරින්ස් දෙකයි. කෝක් දෙකයි' මහිම ඕඩර් කරේ තරහෙන් වගේ කියලා මට නිකමට හිතුණා. ඇත්ත තමයි, මං මෙතන බොරුවට හුරතල් වෙනකොට ඕනේ කෙනෙක්ට තරහ යනවනේ. 

     'හ්ම්....... ඉතින්...' ලොකු හුස්මක් අරගෙන පුටු ඇන්දට හේත්තු වෙන ගමන් අත්දෙකත් බැඳගෙන මහිම මගෙන් ඇහුවා. ' කියන දේ බොක්කටම වදින්න කියන්න ඕනේ නම් පුළුවන් තරම් අයි කන්ටැක්ට්ස් තියාගෙන කතා කරපන්' මෙතනට එන්න කලින් යාළුවො එහෙම උපදෙස් දුන්නත් මහිමගේ ඇස් දිහා බැලුවම මං අතරමං වෙන තරම දන්නේ මං විතරනේ.

     'ඉතිං.... ඔය කියන්න' මං කිව්වේ සැහැල්ලු වෙන්න ලොකු උත්සහයක් ගන්න ගමන්. ඕනේ දෙයක් වෙද්දෙන්, එන විදියට මුණ දෙනවා කියලා මං හිත හදාගත්තා.

     'මං දැන් කතා කරන්න ඕනේ කොහොමද? විශ්මි කියලද? නැත්තන් මන්දහාසි කියලද?' යාන්තමට ඇහැක් පොඩි කරන ගමන් මහිම ඇහුවා.

     'ඔයාට කැමති විදියටක..'

      'මං කැමති විදියකට නේද? මට නම් ඒ නම් දෙකම ලස්සනයි. මේ ඒක නෙමෙයි කොහෙන්ද ඔය මන්දහාසි කියන නම අහුලගත්තේ?' ඔළුව ඇල කරලා ඇස් පුංචි කරන ගමන් මහිම ඇහුවේ මගේ ඇස් දිහා කෙලින් බලලා. හිත කිති කැවිලා ගියා. මෙයත් පිරිමි මායම් පාවිච්චි කරනවද මන්ද....

     'අහුලගත්තා නෙමෙයි, ඒ මගේ නම. විශ්මි මන්දහාසි සූරියබණ්ඩාර'

     'නෑ.......' පුදුමෙට මහිමගේ කට ඇරුණා. 'සිරා ද?' 

     ' නෑ ධමනි..' මං හිනා වෙලා කිව්වා.

     'ආ...... ඔය තියෙන්නේ අර බ්රේක් නැති කට... ඉතිං ඔයාගේ නම දන්නේ නැද්ද ඉස්කෝලේ කවුරුත්??'

     'හොඳම යාලුවන්ට විතරයි මතක. වැඩිය පාවිච්චි කරන්නේ නෑනේ. විශ්මි සූරියබණ්ඩාර කිව්වම තමයි දන්නේ'

     'ආ....... ඒක තමයි එහෙනම් මේ මං ඉස්කෝලේ පීරලා හෙව්වත් හොයාගන්න බැරිවුණේ නේද?' කිව්ව තාලෙටම ඔළුවත් වනන ගමන් මහිම ඇහුවේ හරියට හොරයක් අහුවුණා වගේ.

     'හ්ම්... හ්ම්..... ආරංචියි ආරංචියි' මාත් ඒ විදියටම ඔළුව වනලා කිව්වා. මං මුලින්ම මෙතනට එනකොට හිතට දැනුණු චකිතය, බය ටිකෙන් ටික ඈත්වෙමින් තිබුණා. ඒ මහිමගේ හැසිරීම මං නොහිතුව තරම් සැහැල්ලු වුණ නිසයි. ඒත් ඒ සැහැල්ලුව තවත් කොච්චර වෙලාවකටද කියලා හිතනකොට නම් හිතට දැනුණේ පුංචි තැති ගැන්මක්.

     'එතකොට.............. කස්ටිය එකතුවෙලා මාව බයිට් කරාද?' ඒ වචන ටික ඇහෙනකොට නම් මගේ හිත ගැහුනා.

     'එහෙම නෑ... '

    'එහෙනම් කොහොමද??.......... කොහෙන්ද මගේ නම්බර් එක හම්බවුණේ??' තදබල විදියට ඇහුවේ නැතත් ඒ ප්‍රශ්නෙට  මහිම උත්තරයක් බලාපොරොත්තු වුණා.

     'හරියටම කාගෙන්ද කියන්න නම් දන්නේ නෑ. ඒත් ඔයාලගේ ඉස්කෝලේ කෙනෙක්ගෙන් වෙන්න ඕනේ' පොඩ්ඩක් විතර කපටි වුණේ නම නොදන්න ඒ අහිංසකයව පාවා දෙන්න බැරි නිසයි.

     'එතකොට........' මහිම තවත් ප්‍රශ්නයක් අහන්න ලැස්ති වෙනකොටම ඇලඩින්ගේ පුදුම පහනේ යෝධයා වගේ වේටර් මතු වුණේ අපේ ඕඩර් එක අරගෙන. උණු උණුවේ තිබුණු තඩිම තඩි සබ්මැරින් එක දැක්කම මං කල්පනා කරේ කොයි තරම් කොටසක් මට කාගන්න පුළුවන් වෙයි ද කියලයි. කොයි තරම් බඩගින්නේ ඉන්න වෙලාවක කන්න ගත්තත් කවදාවත් මට සම්පුර්ණ සබ්මැරින් එකක් කාගන්න පුළුවන් වෙලා නෑ තාම.




     'නම්බර් එක හොයාගෙන මට නිර්නාමිකව ටෙක්ස්ට් කරන්න හිතුවේ ඇයි විශ්?' එයා කලින් අහන්න ලෑස්ති වෙලා හිටිය ප්‍රශ්නේ වේටර් ගිය ගමන් ඇහුවා. අහයි කියලා බයෙන් හිටිය, ඇහුවොත් උත්තර නැති ප්‍රශ්නේ මහිම ඇහුවා. එච්චර වෙලා සැහැල්ලුවෙන් තිබුණු ඇස් අයෙමත් බිම බලාගත්තේ ඒ ප්‍රශ්නේ මගේ හිතට බර වැඩි නිසයි. 
     'හරි හරි ළමයෝ... අනිවා උත්තර ඕනේ ප්‍රශ්නයක් නෙමෙයි. හිත රිදුන නම් සොරි වෙන්නකෝ' මගේ වෙනස දැකල ඉක්මනින්ම මහිම කිව්වා.

     'නෑ... ඔයාව බයිට් කරේ නම් නෑ මහිම' 

    'නැත්තෙමත් නෑ... කට්ටිය මාව බයිට් කරලා තියෙන පාටයි. අනේ...... අම්මප මාත් අහුවුණා නේ' මට හයියෙන් හිනා ගියේ එයා ඒ කතාව කිව්ව විදියට.

     'අන්න.... දැන් තමයි ඔයා ඔප්පු කරේ මධූ අයියා ඔයා ගැන කියලා තියෙන දේවල් හරි කියලා' මහිම එක පාරටම කිව්වා.

     'ඇයි?? අපේ අයියා මොනවද මං ගැන කියලා තියෙන්නේ?' මං ඇහුවේ පුදුම වෙලා.

     'නෑ ඉතිං මධූ අයියා, ගෙදර ගැන කතා කරොත් වැඩියෙන්ම විස්තර කියන්නේ ඔයා ගැන නේ, ඒකයි' අප්පා......... අපේ එකා මොනවා කියලද දන්නේ නෑ මෙලහකට.

     'ඉතිං මොනවද කියන්නේ?'

     'ඒවා එහෙම ලේසියෙන් කාටවත් කියන්නේ නෑ' මහිම හරි ආඩම්බර හිනාවක් එක්ක කිව්වා. 'අයියා කෙනෙක් නිසාම මං මධූ අයියට මන්දහාසි ගැන කිව්වේ නෑනේ. නැත්තන් ඉතිං කෙල්ලගේ වැඩේ ලත් තැනම ලොප් වෙන්න තිබුන නේ?' මහිම එහෙම ඇහුවම තමයි මං ඒ ගැන කල්පනා කරේ. බැරි වෙලාවත් එහෙම වුණා නම් මං ගෙදර වසලත් හමාරයි.

     'මිස්, දැන් කරුණාකරලා අපි කමුද? මට බඩගිනි' ඔළුව පහත් කරලා බැගෑපත් විදියට මහිම අහනකොට මට හිනා නොවී ඉන්න බැරි වුණා.

******

     රටේ නැති කතා ගොඩක් කියවන ගමන් මහිම කාලා ඉවර කරත්, මට නම් සබ්මැරින් එකෙන් බාගයක්වත් ඉවර කරගන්න බැරි වුණා. කෝක් එකටත් ඒ සෙතේම තමයි. 

     'දැන් ඔය කාලා ඉවරද?' මහිම ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවා.

     'ඔව්..'

     'හප්පෝ..... ඔහොම ඉතුරු කරන්න හොඳ නෑ. ඕවා සල්ලි. කෝ දෙන්න.... ' දඩිබිඩියේ මගේ කෑම ප්ලේට් එක එයා ලඟට ඇදගන්න ගමන් මහිම කිව්වා. හිතේ ඇතිවුණු හැගීම විස්තර කරන්න මට වචන නෑ. හැමදාමත් මං ආදරේ කරන කෙනාගෙන් දකින්න  බලාපොරොත්තු වුණු නිර්ව්‍යාජ ගතිගුණ හැමදෙයක්ම මහිම ලග නොඅඩුව තිබුණා. 'කොල්ලෝ කියන්නේ නම් කන්නම උපන් ජාතියක්ද කොහෙද' මෙතන හිටියා නම් මගේ යාළුවො කියනේ ඒ කතාව තමයි. 



     කාලා ඉවරවෙලා බිල් එකට මාත් සම්මාදම් වෙන්න් හැදුවත් මහිම ඒකට ඉඩ දුන්නේ නෑ. ඒ ගැන නම් මගේ හිතේ තිබුණේ පුංචි නොරිස්සුමක්.

     'දැන් අපි යමුද? ඔයාට පරක්කු වෙනවනේ. පහ හමාරයි' ෆෝන් එකෙන් වෙලාව බලන ගමන් මහිම මගෙන් ඇහුවා. මහිමට ගත්ත තෑග්ග දෙන්නේ කොහොමද කියලා හිතන ගමන් මාත් 'හා' කිව්වා. 

     'අහන්නකො ඉතිං.... මං ඔයාට පොඩි තෑග්ගක් ගත්තා.. ඔය කැමති වෙයිද දන්නේ නෑ. ගෙදර ගිහින් බලන්න' ඒ මූණේ තිබුණු හිනාවට පුංචි ලැජ්ජාවකුත් එකතු වෙලා තිබුණද මන්ද.

     'තෑන්ක් යූ මහිම' තවත් මොනවා හරි කියන්න ඕනේකම තිබුණත් මං ඒ ටික විතරක් කියලා එයාට දෙන්න අරගත්ත පුංචි පොත බෑග් එකෙන් එලියට ගත්තා.

     'මේක ඔයාට... කැමති වෙයි කියලා හිතනවා' මං කිව්වේ ඒ ඇස් මග ඇරලා.

     'තෑන්ක් යූ මිස්...' සුපුරුදු දඟකාර හිනාවෙන් කියන ගමන් එයා පුටුවෙන් නැගිට්ටා.

     'විශ්මි..' මට අඩියක් පිටිපස්සෙන් පඩිපෙළ දිගේ පහලට බැහැගෙන ආපු මහිම කතා කරපු විදියට මං ගල් ගැහුණා. මහිමගේ පර්ෆියුම් එකේ සුවඳ මට ගොඩක්ම ලඟින් දැනුණේ ඒ වෙලාවේ.

     'මට එක පොරොන්දුවක් වෙනවද?'

     'කියන්න මහිම' හිතේ තිබුණු තිගැස්ම පිටට නොපෙනෙන්න මං ඇහුවා.

    'ගෙදර ගිහින් ඔයා ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ ලෙටර් එක' ලා කහපාට ලියුම් කවරයක් ඇතුලේ දාපු ලියුමක් මගේ අතට දෙන ගමන් මහිම කිව්වා. නොතේරෙන හැගීමක් කලින් විදියටම හිත ඇතුලේ පෙරලි කරද්දී මං මහිමගේ අතින් ලියුම ගත්තා. 'ප්‍රොමිස්'.....

තරු ඇස් ළඟ සදහටම නවතින්න..... මේ පුංචි කෙල්ලට හැකි වෙයි ද?
කප්පරක් හීන බොඳකරන්.... ප්‍රථම ප්‍රේමය කඳුලක්ම වෙයි ද? 

අවසාන කොටස සමගින් හමුවෙමු >>>>

ප/ලි : ඔන්න ඊළඟ කොටස ලියන්න නම් ටීකා...ක් විතර පරක්කු වෙයි. සොරි වෙන්න ඕනේ හොඳේ.. මේ දවස් ටිකේම වැඩ ගොඩ ගැහිලා..